හදවත් අකර්මන්‍යතාවකින් පෙළෙන රෝගියෙකුට හදවත් බද්ධයක් සිදු කළ හැකියි. වකුගඩු අකර්මන්‍යතාවකින් පෙළෙන අයෙකු හට වකුගඩු බද්ධයක් සිදු කළ හැකියි. කෙසේ නමුත් හදවත් රෝගයකින් හා වකුගඩු රෝගයකින් පෙළෙන රෝගියෙකු අවයව බද්ධයක් සඳහා සුදුසුකම් සැපිරුවත්, එම අවයව දෙක ම යථා කාලයේ දී ලබා ගැනීමට ඇත්තේ විරල සම්භාවිතාවක්.
කෙසේ වෙතත් නිව් යෝක්හි NYU Langone Health මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ලොව පළමු වැනි වතාවට රෝගියෙකුගේ හදවතට left ventricular assist device (LVAD) උපාංගයක් බද්ධ කිරීමට මෙන් ම ජානමය වශයෙන් සූකරයෙකු තුළ වැඩිදියුණු කළ වකුගඩුවකුත් බද්ධ කිරීමට සමත් ව සිටිනවා. මෙය ජානමය වැඩිදියුණු කිරීමට ලක් වූ සූකර වකුගඩුවක් පුද්ගලයෙකු වෙත බද්ධ කරන ලද දෙ වැනි අවස්ථාව වන අතර LVAD උපාංගයක් හදවතට බද්ධ කළ අයෙකු වෙත මොන යම් ම හෝ ආකාරයේ අවයවයක් බද්ධ කරනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාස ගත වනවා.
බද්ධ කිරීමේ සැත්කම් අතර සටහන් වූ මේ නවතම සංධිස්ථානය හදවත් රෝග හා වකුගඩු රෝග දෙකෙන් ම පීඩා විඳින රෝගීන්ගේ දිවි බේරා දීම වෙනුවෙන් නව මාවතක් විවර කරන බව විශේෂඥයන් පෙන්වා දෙනවා. “එක් රෝගියෙකුගේ සාර්ථකත්වය හදවත සහ වකුගඩු දෙක ම ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින රෝගීන් දහස් ගණනකගේ සම්භාවිතාවන් ඉහළ දමනවා.” මේ සැත්කමෙහි ලා නායකත්වය දැරූ NYU ග්‍රොස්මන් වෛද්‍යපීඨයේ හදවත් සහ පෙණහලු බද්ධ කිරීම් අංශ ප්‍රධානී වෛද්‍ය Nader Moazami සඳහන් කරනවා.
සැත්කමට භාජනය වූයේ Lisa Pisano නමැති 54 හැවරිදි කාන්තාවක්. නිව් ජර්සියේ විසූ ඇය හෘදය අකර්මන්‍යතාවකින් සහ අවසන් අදියරේ බරපතළ වකුගඩු රෝග තත්ත්වයකින් පීඩා විඳිමින් සිටියා.
Scientific American ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්