තේම්ස් නදියේ ගිලී තිබෙන, දෙවැනි ලෝක යුද සමයට අයත් SS Richard Montgomery නෞකාවේ තත්ත්වය එන්න එන්න ම නරක අතට හැරෙමින් තිබෙන බව නවතම අනාවරණයකින් හෙළි වී තිබෙනවා. නැව් බඳ බිඳ වැටෙමින් පවතින අතර එහි ගබඩා කර ඇති පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් තේම්ස් නදිය සුනාමියකට නතු වීමේ අවදානම ද ඉස්මතු වී තිබෙනවා.
SS Richard Montgomery ගිලී පවතින්නේ එංගලන්තයේ Sheerness වරාය නගරයේ සිට සැතපුම් එකහමාරක් පමණ එපිටින්, අඩි 49ක් ගැඹුරින්. මේ හේතුවෙන් එහි කුඹගස් තවමත් ජල මට්ටමේ සිට ඉහළට එසැවී තිබෙන අතර, බලධාරීන් සූදානමින් සිටින්නේ ව්‍යුහ බිඳ වැටීමක දී ඒවා ගැලවී නැව මතට කඩා වැටී පිපිරීමක් ඇති කරන්නට පෙර ආරක්ෂාකාරී ව ගලවා ඉවත් කිරීමටයි.
නැව පිළිබඳ ව කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන්නේ අවසන් වතාවට තත්ත්වය අධීක්ෂණය කළායින් වසරක කාලය තුළ ‘අවධානය’ යොමු කළ යුතු මට්ටමින් එහි දිරාපත් වීම සිදු වෙමින් පවතින බවයි. නවතම වාර්තාවට අනුව නැවේ තට්ටුව වම්පසට නැඹුරු වන පරිදි කඩා වැටෙමින් තිබෙනවා. එය සඳහන් කරන්නේ මේ තත්ත්වය මෑත කාලීන ව හටගත්තක් බවයි.
නැව ගිලී ඇත්තේ කොටස් දෙකකට වෙන් වී යන ලෙසයි. මින් ඉදිරිපස කොටසේ ඇලය සෙන්ටිමීටර 10ක සිට 15 දක්වා ප්‍රමාණයකින් වැඩි වී ඇති බව ද සඳහන් කෙරනවා. නව ආවේක්ෂණයන්ගෙන් හඳුනාගෙන ඇති පරිදි මොන්ට්ගෝමරි සතු දෙවැනි භාණ්ඩ ගබඩා කුටීරයේ හටගෙන තිබූ පැල්ම වසරක කාලය තුළ සෙන්ටිමීටර 37ක දිගකින් හා සෙන්ටිමීටර 5ක පළලකින් වර්ධනය වී තිබෙනවා.
බ්‍රිතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මහජනයාගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීමට සහ SS Richard Montgomery විසින් ඇති කරන අවදානම අවම කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.
ඇමරිකාව සතු වූ Liberty පන්තියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ SS Richard Montgomery 1944 අගෝස්තුවේ වැලි පරයක හැපීමෙන් තේම්ස් නදියේ ගිලී යන විට එය පැවතියේ මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් එංගලන්තය වෙත යුද්ධෝපකරණ ප්‍රවාහනය කරමින්. එය ප්‍රවාහනය කරමින් තිබූ යුද්ධෝපකරණ සමස්තයේ බර ටොන් 7000 ඉක්මවනවා. නැව ගිලී යන බව වටහී යාමත් සමඟ මහා පරිමාණයේ ගලවා ගැනීමේ මෙහෙයුමකින් එය සතු යුද්ධෝපකරණ සහ පුපුරන ද්‍රව්‍ය ඉවත් කර ගැනීම සිදු වුවත්, එම ක්‍රියාවලිය මඟ දී අත් හැර දමන්නට සිදු වුණේ නැව මුළුමනින් ම ජලයෙන් පිරෙන්නට ගැනීමත් සමඟයි.
අදටත් තේම්ස් නදිය පදනම් කරගනිමින් සුනාමි රළක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් පුපුරන ද්‍රව්‍ය එය සතු ව පවතින බැවින් “Doomsday wreck” යනුවෙන් අන්වරථ නාමයක් ද පටබැඳී තිබෙනවා.
Daily Mail ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්