Home Science News බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ

බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ

by Sathya

එක්සත් රාජධානියේ ජුරාසික් වෙරළ තීරයෙන් සොයාගත් ඉතා වැදගත් මෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් දුර්ලභ පොසිල එකතුවක් අබුඩාබිහි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය වෙත අලෙවි කර ඇති බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙය එරට ජාතික උරුමයට සිදුවූ විශාල පාඩුවක් බවයි. පුද්ගලික පොසිල ගවේෂකයෙකු වන ක්‍රිස් මුවර් විසින් දශක ගණනාවක් පුරා එක්රැස් කරන ලද මෙම එකතුවට, කලින් කල විද්‍යාවට එකතු වූ නව ජීවී විශේෂයන් ද ඇතුළු ව ඉක්තියෝසෝරයන්, මත්ස්‍යයන් සහ කබොල සහිත සතුන්ගේ දුර්ලභ පොසිල නිදර්ශක තුන්සිය දහඅටක් පමණ අයත් වුණා.

මෙම දුර්ලභ පොසිල එකතුව මුලින් ම මිල දී ගැනීම සඳහා ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය සහ වේල්සයේ කෞතුකාගාරය වෙත අවස්ථාව ලබා දී තිබුණත් ඒ සඳහා අතිවිශාල මුදලක් නියම වී තිබූයෙන්, ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම නිසා එම ආයතන දෙකට ම මෙය මිල දී ගැනීමට නො හැකි වී තිබෙනවා. වාර්තා වන අන්දමට ලන්ඩන් කෞතුකාගාරය සතුව මෙවැනි මිල දී ගැනීමක් සඳහා කිසිදු මුදලක් ඉතිරි ව නො තිබූ බව සඳහන් වනවා. මෙම තත්ත්වය, බ්‍රිතාන්‍යයේ ස්වාභාවික උරුමයන් සහ ඉතිහාසය සංරක්ෂණය කිරීම සඳහා රජයේ අරමුදල් වෙන් කිරීමේ දුර්වලතා පිළිබඳව එරට සමාජය තුළ බරපතළ ප්‍රශ්න මතු කිරීමට සමත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ පවතින නීතියට අනුව, ඇතැම් රටවල මෙන් සොයාගන්නා සියලු ම පොසිල ස්වයංක්‍රීය ව රජයේ දේපළක් බවට පත් වන්නේ නැහැ. බටහිර ඩෝර්සෙට් ප්‍රදේශයේ පොසිල එකතු කිරීමේ ආචාරධර්ම හා නීතිරීතිවලට අනුකූල ව, අදාළ ගවේෂකයා විසින් මෙම එකතුව විදේශයකට විකිණීමට පෙර මාස හයක කාලයක් සඳහා එක්සත් රාජධානියේ කෞතුකාගාර වෙත ඉදිරිපත් කර තිබුණා. එබැවින් මෙම විකිණීමේ දී කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු වී නොමැති බව තහවුරු වනවා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයෙන් පිට ව ගිය මෙම පොසිල මේ වන විටත් අබුඩාබි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඩයිනෝසෝර ගැලරිය තුළ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

බ්‍රිතාන්‍යයට සිදු වූ විශාල පාඩුවක් වුව ද, මෙම වටිනා නිදර්ශක පුද්ගලික ධනවතෙකුගේ එකතුවකට සීමා වී සැඟවී නො ගොස් ජාත්‍යන්තර පර්යේෂකයන්ට අධ්‍යයනය කළ හැකි පරිදි මහජන කෞතුකාගාරයකට හිමිවීම එක්තරා අන්දමක සැනසිලිදායක කරුණක් බව ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරනවා. කෙසේ නමුත්, පොසිල එකතු කරන්නන් වයසට යාමත් සමඟ ඔවුන්ගේ ජීවිත කාලය පුරා එකතු කළ නිදර්ශක සඳහා සුදුසු ස්ථානයක් සෙවීම අනාගතයේ දී ද නිරන්තරයෙන් සිදුවිය හැකි බවයි කෞතුකාගාර භාරකරුවන් පෙන්වා දෙන්නේ. එබැවින් අනාගතයේ දී මෙවැනි වටිනා ජාතික උරුමයන් රටින් පිට වීම වළක්වා ගැනීම සඳහා, සාධාරණ මිලකට ඒවා මිල දී ගැනීමේ විශේෂ නීතිමය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications