Home Science News SpaceX පරිසර දූෂණ චෝදනා ඇවිලෙයි

SpaceX පරිසර දූෂණ චෝදනා ඇවිලෙයි

by Sathya

ඊලෝන් මස්ක්ගේ SpaceX අභ්‍යවකාශ සමාගම නැවතත් කරදරයක පැටලී තිබෙනවා. ඒ ටෙක්සාස් ප්‍රාන්තයේ ජල මූලාශ්‍ර රසදියෙන් දූෂණය වීම සම්බන්ධ ව ගොනු වී ඇති චෝදනා සම්බන්ධ වයි.

ටෙක්සාස්හි බොකා චිකාහි පිහිටි SpaceX සමාගමට අයත් Starbase දියත් කිරීමේ අංගණයේ සිට සිදු වූ Starship යානයේ දියත් කිරීම් එම ජල දූෂණයට වගකිව යුතු බවටයි චෝදනා නැඟෙන්නේ. ඉකුත් අගෝස්තු 12 වැනි දා CNBC පුවත් නාලිකාව මඟින් විකාශය කෙරුණු විශේෂ වාර්තාවකින් මෙකී චෝදනා SpaceX වෙත පැවරුණා.

ඊට පසු දින ම දිගු නිවේදනයක් සිදු කරමින් SpaceX සඳහන් කළේ දකුණු ටෙක්සාස්හි Starship මෙහෙයුම් සම්බන්ධයෙන් සිදු වූ CNBC වාර්තාව කරුණූ අතින් නිවැරැදි නො වන බවයි. ඊලෝන් මස්ක් සිය X ගිණුමේ සටහනක් තබමින් එම වාර්තාව හෙළා දැක තිබුණා.

කරුණු එසේ පැවතියත් CNBC වාර්තාව උපුටා දක්වන්නේ Texasහි බලධාරීන් සහ EPA හෙවත් පරිසර ආරක්ෂණ නියෝජිතායතනය අතර හුවමාරු වූ මෙතෙක් පිටතට නිරාවණය කර නොමැති ලිපි කිහිපයක්. මේ චෝදනා මත දිගහැරෙන පරීක්ෂණයකින් SpaceX, EPA හි Clean Water Act හෙවත් පිරිසිදු ජල පණත උල්ලංඝනය කර ඇති බව තහවුරු වුවහොත්, එය අනාගතයේ සිදු වන Starship දියත් කිරීම් සීමා කිරීමට හේතු වනු ඇති බවට මත පළ වනවා.

මහල් 15කින් යුතු ගොඩනැඟිල්ලක උසින් යුතු Starship ලොව නිපදවා ඇති සුවිශාලතම හා බලසම්පන්න ම රොකට්ටුවයි. කෙසේ නමුත් එහි පරීක්ෂණ පියාසැරි ඇරඹුණු දා පටන් එය සතු ප්‍රබල එන්ජින් හේතුවෙන් පරිසරයට සිදු වන හානිය පිළිබඳ විවිධ පාර්ශ්වවල අවධානය යොමු වෙමින් පැවතියා.

Starbase දියත් කිරීම් අංගණය ද අවස්ථා කහිපයක දී ම පරිසර නීති උල්ලංඝනය කිරීම පිළීබඳ චෝදනා ලබා තිබෙනවා. අවට පදිංචිකරුවන් සහ පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මේ උල්ලංඝනය කිරීම් හේතුවෙන් වන සතුන්ගේ වාසස්ථාන හානි වී, ජල මූලාශ්‍ර දූෂණය වී ඇති බවයි. ඇති වන අධික ශබ්ද දූෂණය ද පරිසර නීති උල්ලංඝනය කිරීමක් බව ඔවුන් පෙන්වා දුන්නා. 12 දා විකාශය වූ CNBC වාර්තාවෙන් අවධානයට ලක් ව තිබුණේ රොකට්ටුව දියත් කරන අවස්ථාවේ දියත් කිරීමේ පුවරුව (launchpad) සිසිල් කිරීම සඳහා ක්‍රියාත්මක වන ජල වාහක පද්ධතිය හේතුවෙන් සිදු වන බවට චෝදනා නැඟෙන ජල දූෂණය සම්බන්ධවයි.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications