25 වැනි සූර්ය චක්‍රය තුළ ඇති වූ ප්‍රබලතම ලෙළසිළුව (solar flare) ඊයේ (03) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 8:40 ට හටගත් බව වාර්තා වුණා. ඒ AR3842 ලෙස නාමකරණය වී ඇති හිරුලප සමූහයේ සිටයි. එය X9.05 අගයක ප්‍රබලත්වයකින් වුතු අතර විදාරණය සිදු වන මොහොතේ හිරුට මුහුණු ලා තිබූ අප්‍රිකා සහ යුරෝපා මහාද්වීපවල කෙටිදුර රේඩියෝ සංඥා බිඳ වැටීම් ද සිදු වූ බව වාර්තා වුණා.
මේ ලෙළසිළුවත් සමඟ කිරීටක ස්කන්ධ විදාරණයක් (Coronal Mass Ejections – CME) ද සිදු වූ අතර එය මේ වන විට පෘථිවිය බලා ඇදී එමින් පවතිනවා.
ඒ අනුව මේ වන විට CME විදාරණ දෙකක් පෘථිවිය බලා එමින් පවතිනවා. පළමු වැන්න ඉකුත් 01 වැනි දා ඇති වූ එම සූර්ය ලප මණ්ඩලයම පදනම් කරගත් X7.1 පරිමාණයෙන් යුතු ලෙළසිළුවත් සමඟ විදාරණය වූ CME විදාරණයයි. එය අද දිනයේ (04) පෘථිවි ඉහළ වායුගෝලයේ ගැටීමට නියමිත ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ අති ප්‍රබල X9.05 ලෙළසිළු විදාරණයෙන් නිකුත් වූ CME විදාරණය පෘථිවිය වෙත ළඟාවනු ඇත්තේ එලැඹෙන 06 දායි.
CME යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයා අභ්‍යන්තරයේ සිට විදාරණය වන අයන ලෙස හැඳින්වෙන විද්‍යුත් ආරෝපණයක් සහිත අංශූ රැගත් ප්‍රවාහයක්. ඒවා පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ ගැටීමත් සමඟ භූ චුම්භකිත කුණාටු තත්ත්ව ඇති වනවා. මේ කුණාටු කාලයේ දී ආරෝපිත අයන පෘථිවියේ ඉහළ වායුගෝලයේ ඇති වායූන් සමඟ ඇතිල්ලෙන විට ශක්තිය නිකුත් වන්නේ ආලෝකය ලෙසයි. මේ සංසිද්ධිය අවුරෝරා හෙවත් උෂාලෝක යනුවෙන් හැඳින්වෙනවා. මේවා පෘථිවියේ නිරක්ෂීය රටවල සිට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැති නමුත් උතුරු සහ දකුණු අර්ධගෝලවලට අයත් රටවල සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. උතුරු අරුධගෝලයේ සිදු වන උෂාලෝක aurora borealis ලෙසත් දක්ෂිණ අර්ධගෝලයේ සිදු වන උෂාලෝක aurora australis ලෙසත් හැඳින්වෙනවා.
යුරෝපයට සහ අප්‍රිකාවට බලපෑ කෙටිදුර රේඩියෝ සංඥා බිඳවැටුම සිදු වූයේ සූර්ය ලෙළසිළුවෙන් නිකුත් වූ විකිරණය හේතුවෙන් පෘථිවියේ ඉහළ වායුගෝලය අයනීකරණය වීම හේතුවෙන්. මෙලෙස එම තරංග බිඳ වැටෙන්නේ අයනීකරණය වීමත් සමඟ වායුගෝලයේ ඝනත්වය ඉහළ ගොස් තරංග ගමන් කිරීමේ දී එහි ශක්තිය හානියට ලක් වීම නිසයි.
ඊයේ විදාරණය වූ සූර්ය ලෙළසිළුව දැනට පවතින සූර්ය චක්‍රයේ වාර්තාගත ප්‍රබලතම ලෙළසිළුව වනවා පමණක් නොවෙයි, 2017 සැප්තැම්බරයෙන් පසු වාර්තා වූ ප්‍රබලතම ලෙළසිළුව ද වනවා.
SpaceWeather සහ Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්