Home Science News NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

NASA ආයතනයේ X-59 ගුවන් යානය පළමු වරට ශබ්දයේ වේගය අභිබවා යයි

by Sathya

NASA විසින් සැලසුම් කරන ලද X-59 පර්යේෂණාත්මක ගුවන් යානය සිය මංගල අධිධ්වනික (Supersonic) හෙවත් ශබ්දයේ වේගය අභිබවා යාමේ පියාසැරිය සාර්ථකව නිම කිරීමට සමත් ව තිබෙනවා. මෙම ඓතිහාසික පියාසැරිය, ලොව වාණිජ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට නියමිත ‘Quesst’ මෙහෙයුමේ සුවිශේෂී කඩඉමක් ලෙස සැලකෙනවා.

කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ආරම්භ වූ මෙම පියාසැරිය විනාඩි 81ක කාලයක් පුරා පැවතුණා. NASA ආයතනයේ ප්‍රවීණ පරීක්ෂණ ගුවන් නියමුවෙකු වන ජිම් “ක්ලූ” ලෙස් විසින් යානය මෙහෙයවන ලද අතර, එහි දී ගුවන් යානය අඩි 43,400ක උපරිම උන්නතාංශයකට ළඟා වෙමින් Mach 1.1 ක (පැයට කිලෝමීටර් 1,147 ක පමණ) වේගයක් වාර්තා කරමින් පියාසර කළා.

සාමාන්‍යයෙන් ගුවන් යානයක් ශබ්දයේ වේගය පසුකර යාමේ දී, වායුගෝලයේ පීඩන තරංග එකිනෙක ගැටීමෙන් ප්‍රබල ශබ්ද තරංගයක් නිකුත් වනවා. කන් බිහිරි කරවන මෙම අධික ශබ්දය හේතුවෙන්, ගොඩබිම හරහා සුපර්සොනික් වාණිජ ගුවන් ගමන් සිදු කිරීම දශක ගණනාවක සිට තහනම් කර තිබෙනවා. නමුත් Lockheed Martin සමාගම හා එක් ව NASA ආයතනය නිර්මාණය කළ X-59 යානයේ සැලසුම මෙම සම්ප්‍රදායික ගැටලුව මඟහැරීමට සමත් වී තිබෙනවා.

යානයට අඩි 30ක් පමණ දිගු, ඉදිකටුවක හැඩැති දිගටි නාසයක් ඇති අතර එය යානයේ මුළු දිගින් තුනෙන් එකක් පමණ වනවා. මෙම විශේෂිත හැඩය මඟින් වායු පීඩන තරංග එකට එක්වීම වළක්වා ඒවා විසිරුවා හරිනු ලබනවා. ඒ හේතුවෙන්, ගිගුරුම් හඬක් වෙනුවට ඈතින් මෝටර් රථයක දොරක් වැසෙනවාක් වැනි ඉතා මෘදු ශබ්දයක් (Sonic thump) පමණක් ජනනය කිරීම මෙහි ඇති සුවිශේෂීම තාක්ෂණික ජයග්‍රහණයයි.

“මෙම අධිධ්වනික පියාසැරිය මඟින් විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ගුවන් අභ්‍යවකාශ නවෝත්පාදනයන්හි ඇමෙරිකාවේ අඛණ්ඩ නායකත්වය පෙන්නුම් කරනවා.” ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලයේ අධ්‍යක්ෂ, මයිකල් ක්‍රැට්සියෝස් ප්‍රකාශ කරනවා.

සිය පළමු පරීක්ෂණ පියාසැරිය ආරම්භ කළ X-59 යානය, ඉදිරි දින කිහිපය තුළ දී අඩි 55,000ක උසක දී Mach 1.4 (පැයට කිලෝමීටර් 1,488) ක සිය ඉලක්කගත මෙහෙයුම් වේගය ලබා ගැනීමට නියමිත ව තිබෙනවා. මෙම පරීක්ෂණවලින් ලබාගන්නා දත්ත මත පදනම් ව, අනාගතයේ දී සාමාන්‍ය මගී ගුවන් යානා සඳහා ද මෙම නිහඬ සුපර්සොනික් තාක්ෂණය යොදාගැනීමට NASA ආයතනය අපේක්ෂා කරනවා. එය සාර්ථක වුවහොත්, වර්තමානයේ පවතින නීති රීති වෙනස් වී, ලොව පුරා ගුවන් ගමන් සඳහා ගතවන කාලය අඩකින් පමණ අඩු කරගත හැකි නව යුගයක් නුදුරේ දී ම උදාවෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications