Home Science News ෆුකුෂිමා බලාගාරයේ අපද්‍රව්‍ය එළියට ගන්න රොබෝ අතක්

ෆුකුෂිමා බලාගාරයේ අපද්‍රව්‍ය එළියට ගන්න රොබෝ අතක්

by Sathya

ජපානයේ ෆුකුෂිමා ඩායි-ඉචි න්‍යෂ්ටික බලාගාරයේ අධිකාරිත්වය හිමි Tokyo Electric Power Company (TEPCO) සමාගම විසින් එහි ප්‍රතික්‍රියාකාරක තුළ ඇති ඉන්ධන සාම්පල ආරක්ෂිත ව පිටතට ගත හැකි රොබෝ හස්තයක් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. මෙය සිදු වන්නේ බලාගාරයට මුහුණ දීමට සිදු වූ භූ කම්පනයෙන් සහ සුනාමි තත්ත්වයෙන් හටගත් විකිරණ කාන්දුව සිදු වී 13 වසරකට පසු වයි. රොබෝවා සතු අඩි 72ක උපරිම දුරකට විහිදිය හැකි හස්තය ටොන් 4.6ක බරින් යුතු බව වාර්තා වනවා.

2011 මාර්තු 11 වැනි දා නැගෙනහිර ජපානයට මුහුණ දෙන්නට සිදු වූ මැග්නිටියුඩ් 9.0ක භූ කම්පනයත්, ඉන් හටගත් සුනාමි තත්ත්වයත් හේතුවෙන් ෆුකුෂිමා ඩායි-ඉචි බලාගාරයේ බලය සිඳී ගිය අතර එහි වූ ප්‍රතික්‍රියාකාරක ද්‍රවණය වීමකට ලක් වුණා. පර්යේෂකයන් අනුමාන කරන පරිදි මේ වන විටත් එහි වූ ප්‍රතික්‍රියාකාරක ගොඩනැඟිලි තුන යට ටොන් 880ක අධි විකිරණශීලී න්‍යෂ්ටික ඉන්ධන ඉතිරි වී පවතිනවා.

TEPCO විසින් ‘ඉන්ධන සුන්බුන්’ හෙවත් ‘fuel debris’ ලෙස හඳුන්වනු ලබන මෙකී ද්‍රව්‍යය තැනී ඇත්තේ හානිය සිදු වන අවස්ථාවේ ඇති වූ අධික උෂ්ණත්වය හමුවේ එහි ඇතුළත් කර තිබූ ඉන්ධන කූරු සහ ප්‍රතික්‍රියාකාරකයේ අභ්‍යන්තර කොටස් දිය වී එකිනෙක මිශ්‍ර වීමෙන්. පසු කාලීන ව සිසිල් වීමෙන් මේවා ගල් වී තිබෙනවා. මේ සංරසය තුළ යුරේනියම්, සිර්කෝනියම් සහ තවත් විකිරණශීලී ද්‍රව්‍ය අන්තර්ගත බව TEPCO පවසනවා. කෙසේ නමුත් මේවායේ සංයුතිය නිවැරැදි ව කිව හැක්කේ අපද්‍රව්‍ය සාම්පල ආරක්ෂිත ව ඉවතට ගැනීමෙන් පසු සිදු කෙරන විශ්ලේෂණවලින්.

TEPCO විසින් අරඹනු ලැබ ඇති බලාගාරය විශ්‍රාම යැවීමේ ක්‍රියාවලිය දශක ගණනක් පුරා විහිදී යනු ඇති බව අපේක්ෂා කෙරනවා. එය රොබෝවන් ගණනාවක් ම යොදාගෙන සිදු කෙරෙන කර්තව්‍යයක්. ගොඩනැඟිලි ආවේක්ෂණය කිරීමේ සිට විකිරණ මට්ටම් මැන බැලීම දක්වා විවිධ රාජකාරී ඒවාට පැවරී තිබෙනවා. කෙසේ නමුත් මේ වන තුරුම ඉන්ධන අපද්‍රව්‍ය සාම්පල පිටතට ගෙන ඒමට හැකි රොබෝවෙකු TEPCO සමාගම සතු ව සිටියේ නැහැ.

මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම, ජාත්‍යන්තර න්‍යෂ්ටික විශ්‍රාම ගැන්වීම පිළිබඳ පර්යේෂණායතනය සහ එක්සත් රාජධානියේ ස්ථාපිත Veolia Nuclear Solutions සමාගමේ ද සහාය ඇති ව අවසානයේ දී සිය රාජකාරියට උචිත අයුරින් රොබෝ හස්තයක් සැලසුම් කරගැනීමට TEPCO සමත් වුණා.

මළ නො බඳින වානේ සහ ඇලුමිනියම් නිර්මිත රොබෝවාගේ හස්තය අංශක 18ක පරාසයක් තුළ නිදහසේ හැසිරවීමේ හැකියාව තිබෙනවා. එය සතු සංරචක ප්‍රධාන කොටස් හතරකින් යුක්තයි. එනම් විවරයන් ඔස්සේ ගමන් කළ හැකි ජංගම රථය, අවශ්‍යතාව පරිදි දිගු කළ හැකි මෙන් ම නැවිය හැකි හස්තය, හැසිරවීමේ පහසුව තකා සවි කර ඇති කැමරා සහ ආලෝකකරණ පද්ධතිය සහ සාම්පල ග්‍රහණය කර ගැනීම සඳහා ඇති විශේෂිත ග්‍රාහකයයි.

ජපාන න්‍යෂ්ටික නියාමන අධිකාරියේ අනුමැතිය මත ඉකුත් මස එය ප්‍රථම වරට අදාළ කාර්යය සඳහා යොදවනු ලැබුණා. එහි දී සාර්ථක ලෙස සාම්පල කිහිපියක් පිටතට ගැනීමට සමත් වූ නමුත් අභ්‍යන්තරයේ ඇති දැඩි විකිරණශීලීතාව හේතුවෙන් රොබෝ හස්තය සතු ඇතැම් අර්ධ සන්නායක කොටස්වලට හානි සිදු වීම නිසා එහි වූ කැමරා පද්ධතියේ දෝශයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications