Home Science News කෘත්‍රිම බුද්ධිය කේම්බ්‍රිජ් කෞතුකාගාරයේ සතුන්ට හඬක් දෙයි

කෘත්‍රිම බුද්ධිය කේම්බ්‍රිජ් කෞතුකාගාරයේ සතුන්ට හඬක් දෙයි

by Sathya

ඒංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සත්ත්වවිද්‍යා කෞතුකාගාරය සිය නිදර්ශකවලට කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් ‘හඬ’ ලබා දීමට තීරණය කර තිබෙනවා. ඇමරිකානු කැරපොත්තාගේ සිට ෆින් තල්මහ දක්වා විවිධාකාරයේ පුළුන් පුරවන ලද සතුන් මෙන් ම ෆොසිල ගණනාවක් මේ ව්‍යාපෘතියට අයත්. ඉන් නැරඹීමට පැමිණෙනන් හට සත්ත්ව නිදර්ශක සමඟ සංවාදයේ යෙදෙමින් ඔවුන් විසූ යුගය සහ ජීවන අත්දැකීම් ගැන තොරතුරු විමසා බැලීමේ හැකියාව ලැබී තිබෙනවා. විශ්වවිද්‍යාලය සඳහන් කරන්නේ මසක කාලයක් සඳහා මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇති බවයි.

“කෞතුකාගාර විවිධ ආකාරයෙන් කෘත්‍රිම බුද්ධිය උපයෝගීකර ගන්නවා. නමුත් අප හිතන්නේ එය ප්‍රදර්ශකයේ පැත්තෙන් යොදාගන්නා ප්‍රථම අවස්ථාව මෙයයි.” කෞතුකාගාරයේ සහකාර අධ්‍යක්ෂ Jack Ashby පවසනවා. “සතුන්ට තමන්ගේ ම හඬක් ලබා දීමෙන් මිනිසුන් ඔවුන් ගැන වෙනස් විදියකින් හිතන්නට පටන්ගනී ද යන්න සොයාබැලීම මේ අත්හදාබැලීමේ එක්තරා කොටසක්. කැරපොත්තෙකුට හඬක් ලබා දීමෙන් සමාජය ඌ දෙස බලන ආකාරය වෙනස් කරන්න අපට පුළුවන් ද?”

මෙහි දී සතුන් සංවාදයේ නිරත වන්නේ නරඹන්නන්ගේ ස්මාර්ට් දුරකථනය ඔස්සේයි. එම සංවාදය වාචික ව හෝ පාඨමය ආකාරයෙන් සිදු කිරීමේ පහසුකම සලසා තිබෙනවා. ව්‍යාපෘතිය බල ගැන්වීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දී තිබුණේ මිනිස් සමාජය සහ ස්වභාවික ලෝකය අතර සේතුවක් ඇති කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි උපයෝගී කරගැනීමේ අරමුණෙන් පිහිටුවා ඇති Nature Perspectives නම් සමාගමයි. සෑම ප්‍රදර්ශන භාණ්ඩයකට ම අදාළ ව ඒ සත්ත්වයා ජීවත් වූ ස්වභාවික පරිසරය, ජීවත් වූ සමය මෙන් ම කෞතුකාගාරය වෙත පැමිණියේ කෙසේ ද යන්න ආදී තොරතුරු ගණනාවක් සංවාදමය අයුරින් දැනගැනීමේ හැකියාව ඉන් ලැබී තිබෙනවා.

මේ සංවාද ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ජපන් භාෂා ඇතුළත් ව 20කට අධික භාෂා සංඛ්‍යාවකින් සිදු කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. තමාගෙන් තොරතුරු විමසන අයගේ වයසට සාපේක්ෂ ව සංවාදය පවත්වාගෙන යා යුතු ආකාරය තීරණය කිරීම ද මේ කෘත්‍රිම බුද්ධි මෙවලම සමත්.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications