SpaceX විසින් Starlink චන්ද්‍රිකා පොකුරට තවත් දහස් සංඛ්‍යාත චන්ද්‍රිකා එක් කෙරෙන්නට පෙර ඉන් පරිසරයට වන බලපෑම ගැන කාලෝචිත විධිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්, 100කට අධික අභ්‍යවකාශ පර්යේෂකයන් පිරිසකගේ අත්සන් සහිත ලියවිල්ලක් ඇමරිකානු ෆෙඩරල් රජය වෙත යොමු වී තිබෙනවා.
ෆෙඩරල් සන්දේශන කොමිසම (Federal Communications Commission – FCC) මඟින් SpaceX වෙත Starlink චන්ද්‍රිකා 12,000ක් අභ්‍යවකාශගත කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර එය SpaceX සමාගමට අයත් නො වන අභ්‍යවකාශගත චන්ද්‍රිකා ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ගණනක්. එය 20,000 දක්වා වැඩි කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස SpaceX මේ වන විටත් FCC වෙතින් අවසර ඉල්ලා තිබෙනවා.
FCC විසින් චන්ද්‍රිකා පොකුරු මඟින් සිදුවිය හැකි හානිය තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටියක් තිබුණත්, ලිපිය යොමු කරන පාර්ෂ්වයන් සඳහන් කරන්නේ ඊට අදාළ ක්‍රියාපටිපාටි සම්මත වී ඇති, අදින් දශක හතරකට එපිට කාලය හා සසඳන විට වර්තමානයේ ඇති තත්ත්වය කැපී පෙනෙන ලෙස වෙනස් බවයි.
“මේ තාක්ෂණය අලුත්.” ලිඛිත ඉල්ලීම සම්පාදනය සඳහා මුල් වී ක්‍රියා කළ Public Interest Research Groupsහි අධ්‍යක්ෂවරයෙකු වන Lucas Gutterman පවසනවා. “ඒක මහජනතාවට යහලපතක් කරනවානම් ඇත්තෙන් ම හොඳ දෙයක්. ඒත් ඒ යහපත, ඉන් ඇතිවීමට ඉඩ තිබෙන හානිය සමඟ සසඳා බැලිය යුතුයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ පාරිසරික සමාලෝචනයකින්.”
FCC විසින් සිය සංවිධානය හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ප්‍රතිචාර වශයෙන් දැනගන්නට ලැබුණු බවත් ඔවුන් සමඟ මේ ගැන ගැඹුරින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
SpaceX විසින් Starlink චන්ද්‍රිකා සැලසුම් කරනු ලැබ ඇත්තේ දළ වශයෙන් පස් අවුරුදු සේවාකාලයකට යෝග්‍ය වන පරිදියි. එම කාලය ඉක්මවීමෙන් පසු SpaceX විසින් අදාළ චන්ද්‍රිකාවල කක්ෂය පහත් කරමින් ඒවා පෘථිවි වායුගෝලයේ දැවී විනාශ කර දැමීම සැලසුමයි. ඉන්පසු අඩුව පිරවීම සඳහා තවත් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කෙරෙනු ඇති. මෙලෙස චන්ද්‍රිකා විශාල ප්‍රමාණයෙන් පංච අවුරුදු චක්‍රයක් තුළ දවා හැරීම මඟින් ඉහළ පෘථිවි වායුගෝලය වෙත ලෝහ අංශු සහ වෙනත් සංයෝග එක් වන බවත්, ඉන් වාතයේ පවතින මූලද්‍රව්‍ය සහ අණුවල සංයුතිය වෙනස් වී සමතුලිතතාව කලතවා හරින බව ලිපියේ දැක්වෙනවා.
ඔවුන් අනතුරු අඟවන්නේ නියාමකයන්ට නියාමනය කළ හැකිවාට වඩා වේගයෙන් කර්මාන්තය දිව යමින් තිබෙන බවයි.
Phys.org ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි