Home Science News ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති

ඕස්ට්‍රේලියානු පර්යේෂකයෝ DNA යොදාගෙන නැනෝ ඩයිනොසෝර රුවක් තනති

by Sathya

ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් DNA තැනුම් ඒකක ලෙස යොදාගනිමින් නැනෝ පරිමාණයේ වස්තූන් කිහිපයක් ගොඩනැඟීමට සමත් ව සිටිනවා. ඒ අතර කූරක ස්වරූපයෙන් යුතු ව්‍යුහයක්, හතරැස් කොටුවක් සහ ඩයිනෝසෝර රූපයක් ද වනවා.

මේ පර්යේෂණය මඟින් ඔවුන් සිදු කර තිබුණේ මිනිස් හිසකෙසකින් දහසෙන් පංගුවක් තරම් වන නැනෝ පරිමාණ ව්‍යුහයන් තැනීමේ දී අමුද්‍රව්‍ය ලෙස DNA යොදාගැනීමේ හැකියාව සොයා බැලීමටයි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ නැනෝ ආයතනයේ (University of Sydney Nano Institute) පර්යේෂකයන් මෙයට දායක වී ඇති අතර අධ්‍යයනය ඉකුත් දා Science Robotics ජර්නලයේ පළ වී තිබුණා.

මෙහි දී පර්යේෂකයන් DNA ආධාරයෙන් නැනෝ හැඩතල 50කට අධික සංඛ්‍යාවක් තනා තිබුණේ ඔවුන්ගේ විද්‍යාත්මක නිරවද්‍යතාව මෙන් ම නිර්මාණශීලීත්වය ද ප්‍රකට කරවමින්. මේ අතර ඩයිනෝසෝරයෙක්, මකරෙක් මෙන් ම නැනෝමීටර 150ක් පමණ පළලැති ඔස්ට්‍රේලියාවේ සිතියමක් ද වනවා.

අධ්‍යයනයේ සමකර්තෘවරයෙකු මෙන් ම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ද වන සිඩ්නි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ආචාර්ය Shelley Wickham පවසන්නේ මේ නැනෝ ඉදිකිරීම් සියල්ල අතුරින් වැඩියෙන් ම තමාගේ සිත් ගත්තේ ඩයිනෝසෝර රුව බවයි. ඒ එය සතු ව සවිවර මෙන් ම නම්‍යශීලී කොටස් තිබීම සහ අහම්බයකින් නිර්මාණය විය නොහැකි සංකීර්ණ හැඩයකින් යුතු වීම හේතුවෙන් බව ඔහු පවසනවා.

අධ්‍යයනය සඳහා දායකත්වය නො දැක්වූ RMITහි මයි‍ක්‍රො නැනෝ පර්යේෂණාගාරයේ අධ්‍යක්ෂ මහාචාර්ය Arnan Mitchell පවසන්නේ DNAහි රසායනික ගුණාංග අමතක කර හුදෙක් ඉදිකිරීමේ අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කර සිදු කරන ලද මේ අධ්‍යයනය ඉතා ම සිත්ගන්නාසුලු බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications