Home Science News ඩෙන්මාකයෙන් නව ‘වුඩ්හෙන්ජ්’ ව්‍යුහයක් සොයාගැනේ

ඩෙන්මාකයෙන් නව ‘වුඩ්හෙන්ජ්’ ව්‍යුහයක් සොයාගැනේ

by Sathya

එංගලන්තයේ ‘ස්ටෝන්හෙන්ජ්’ ඉදිකිරීමට සමානකමක් දක්වන, වසර දහස් ගණනක ඉතිහාසයකට උරුමකම් කියන බවට විශ්වාස කෙරෙන දැව කණු සිටුවා තනන ලද ඉදිකිරීමක සලකුණු ඩෙන්මාකයෙන් හමු වී තිබෙනවා.

ඩෙන්මාකයේ ආර්ස්හි North Jutland ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මේ පුරාවිද්‍යාත්මක ස්ථානය මීටර 30ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර එය වටා සෙල්මුවා කණු 45ක් පමණ සිටුවා තිබෙන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. ඔවුන් විශ්වාස කරන්නේ එය ක්‍රිස්තු පූර්ව 2600ත් 1600ත් අතර කාලය තුළ ඉදිකර ඇති බවයි.

‘වුඩ්හෙන්ජ්’ ලෙස නම් කර ඇති මේ පුරාතන ඉදිකිරීම හෙළි කරගැනීමට පර්යේෂකයන් සමත් ව තිබුණේ ඉකුත් ජනවාරි මස සිදු කළ කැණීමක් අතරතුරයි.

අතීතයේ ඩෙන්මාකය සහ එංගලන්තය අතර පැවති සමාන්තර ඇදහීම් පද්ධති ⁣මෙවැනි ඉදිකිරීම් මඟින් හෙළිදරව් වන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

ඩෙන්මාකයේ Vesthimmerlands කෞතුකාගාරයේ භාරකාරියක වන Sidsel Wahlin පෙන්වාදෙන්නේ උඩුගුවනේ සිට කරන ලද ඡායාරූපගත කිරීම්වලින් මෙතෙක් හෙළි නොවී තිබූ මේ පුරාවිද්‍යාත්මක ස්ථානය ගල් යුගයේ අවසාන කාල පරිච්ඡේයේ සහ ලෝකඩ යුගයේ ආරම්භක සමයේ පැවැති වතාවත් සහ සමාජීය ව්‍යුහයන් හෙළිපෙහෙළි කරගැනීම සඳහා උපකාර කරනු ඇති බවයි.

කලින් කලට බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ මෙවැනි හෙන්ජ් ව්‍යුහයන් බොහෝ ගණනක් හමු ව ඇති අතර ඒවායේ ඉදිකිරීම ක්‍රිස්තු පූර්ව 3000 සිට 2000 අතර කාලය දක්වා දිවෙන බව සොයාගෙන තිබෙනවා.

Wahlin පෙන්වා දෙන්නේ මේවා සූර්යයා නැමදීම සහ කෘෂිකාර්මික යාතුකර්ම මුල්කොටගෙන තැනුණු මධ්‍යස්ථාන බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications