Home Science News කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ

කොලෝසල් දැල්ලෙකු කැමරාවට හසු කරගැනේ

by Sathya

ගැඹුරු මුහුදේ සැරිසරමින් සිටි කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට කැමරාව‌ට හසුකරගන්නට ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් යවන ලද දුරස්ථ පාලක ජලජ ඩ්‍රෝනයක් සමත් වී තිබෙන බව Schmidt Ocean Institute විසින් නිවේදනය කරනු ලැබ තිබෙනවා.

මෙලෙස කැමරාවට හසු වූ කොලෝසල් දැල්ලා (Colossal squid) බිළිඳු වියේ පසුවන අතර, දිගින් අඩියක් එනම් සෙන්ටිමීටර 30ක් පමණ වන බව පර්යේෂකයන් පවසනවා. දියේ ගිලෙන ඩ්‍රෝන යානයේ කැමරාවට ඌ හසු වී ඇත්තේ දකුණු අත්ලාන්තික් සාගරයේ මීටර් 600ක් තරම් ගැඹුරක දීයි. විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි කොලෝසල් දැල්ලන්ට ආසන්න වශයෙන් මීටර 7ක් දක්වා දිගින් වැඩීමට හැකියාව තිබෙනවා. විද්‍යාත්මක ව ඔවුන් හැඳින්වෙන්නේ Mesonychoteuthis hamiltoni ලෙසයි.

බ්‍රිතාන්‍යයට අයත් දකුණු සෑන්ඩ්විච් දූපත් අසල මුහුදේ දී මේ දැල්ලා කැමරාවට හසු වී තිබුණේ පසුගිය මාසයේ. ඒ නව සාගර ජීවීන් හඳුනාගැනීම සඳහා දියත් කෙරුණු විද්‍යාත්මක ගවේෂණයක් අතරතුරයි. දර්ශනය ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය වෙනත් ස්වාධීන පර්යේෂකයන් හා විද්වතුන් හරහා තහවුරු කරන තෙක් රැඳී සිටීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කර තිබුණා.

“කුඩා අවධියේ පසුවන කොලෝසල් දැල්ලෙකු ප්‍රථම වතාවට දකින්න ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මේ සතා ඉතා ලස්සනයි,” මේ සත්ත්වයා යෝධ දැල්ලෙක් ම බව තහවුරු කරගැනීමට සහාය වූ නවසීලන්තයේ ඕක්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දැල්ලන් පිළිබඳ පර්යේෂිකාවක වන Kat Bolstad පවසනවා. ඇය වැඩිදුරටත් සඳහන් කරගන්නේ වැඩුණු කොලෝසල් දැල්ලෙකු සටහන් කරගැනීම සඳහා පර්යේෂකයන් විවිධ කැමරා ආම්පන්න අත්හදා බලමින් සිටින බවයි.

කැමරාවට හසු වූ නො වැඩුණු වියේ පසුවන කොලෝසල් දැල්ලා පාරදෘශ්‍ය ආකාරයෙන් දිස් වන අතර ක්‍රමික ව වර්ධනය වන විට ගැඹුරු රතු හෝ දම් පැහැයක් ගන්නවා.

Associated Press ඇසුරෙනි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications