Home Science News AI 171: දශකයේ දරුණුතම ගුවන් අනතුර

AI 171: දශකයේ දරුණුතම ගුවන් අනතුර

by Sathya

 

ඊයේ පස්වරුවේ අහ්මදාබාද්හි සිදු වූ Air India ගුවන් අනතුර මේ දශකය තුළ සිදු වූ දරුණුතම ගුවන් අනතුර බව ගුවන් විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

AI 171 යන පියාසැරි ඇමතුම් කේතයෙන් හඳුන්වන ලද අනතුරට මුහුණ පෑ ගුවන්යානය Boeing 787-8 Dreamliner මාදිලියට අයත් වූවක්. විශේෂත්වය වන්නේ මෙම මාදිලියේ ගුවන්යානා නිෂ්පාදනයේ පවතින 14 වසරක කාලය තුළ මෙවැනි අනතුරකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය වීමයි.

අහ්මදාබාද් සිට ලන්ඩනයේ ගැට්විග් ගුවන්තොටුපොළ බලා ගුවනට නැගි යානයේ පුද්ගලයින් 230 දෙනෙකු සිටි අතර, ඊට කාර්ය මණ්ඩලයේ 12 දෙනා ද අයත් වනවා. ඉන්දීය ජාතිකයන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකු, පෘතුගීසි ජාතිකයන් 7 දෙනෙකු සහ එක් කැනේඩියානු ජාතිකයෙකු යානයේ ගමන්ගත් මගීන් අතර සිටියා. යානයේ සිටි සියලු දෙනා මිය යන්නට ඇතැ යි මුලින් අනුමාන කෙරුණ ද එක් අයෙකු සුළු තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් ව තිබෙනවා. විශ්වාස්කුමාර් රාමේෂ් නමැති ඉන්දියානු ජාතික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන ඔහු අසුන්ගෙන සිට ඇත්තේ යානයේ පිරිමැසුම් පන්තියේ වම්පසින් පිහිටි හදිසි පිටවීම් දොරටුව අසල පිහිටි අංක 11A දරන අසුනේ බව ඔහු ඉන්දීයා මාධ්‍ය වෙත දක්වා සිටින ගුවන් ටිකට්පතේ සඳහන් වී තිබෙනවා.

යානය කඩා වැටුණු වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාර ගොඩනැඟිල්ලේ සිටි 50ත් 60ත් අතර සිසුන් පිරිසක් රෝහල්ගත කළ බව අහ්මදාබාද් පොලිසිය සඳහන් කළා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 204ක් සොයාගත් බවයි. අනතුරින් මියගිය අය අතර යානයේ මගියෙකු ව සිටි ගුජරාටයේ හිටපු මහ ඇමතිවරයා වන විජේ රූපානි ද වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මියගිය ගණන 265 දක්වා ඉහළ ගිය බවයි. මේ වන විට හමු වූ මළ සිරුරු DNA පරීක්ෂාවකට ලක් වෙමින් පවතින බවත්, අනතුරින් සැබැවින් ම මියගිය ගණන ප්‍රකාශ කළ හැකි වන්නේ ඉන් අනතුරු ව බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශා සඳහන් කළා.

සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් අනතුරට හේතුව සෙවීම සඳහා වන විමර්ෂණවලට සම්බන්ධ වීම සඳහා කණ්ඩායමක් මේ වන විටත් ඉන්දියාව බලා පිටත් කර යවා ඇති බව සඳහන් කළා. Boeing සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වන කෙලී ඔ්ට්බර්ග් ද නිවේදනය කළේ ඉන්දියානු ගුවන් අනතුරු විමර්ශන බියුරෝව (Aircraft Accident Investigation Bureau) විසින් සිදු කෙරෙන විමර්ශන සඳහා හැකි උපරිමයෙන් සහාය දක්වන බවයි. එසේ ම තමා Air India සමාගමේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන්ට ද දුරකතනයෙන් අමතා සහාය දැක්වීමට එකඟත්වය පළකළ බව ඔහු සඳහන් කළා.

ගුවන් ගමන් විශේෂඥයන් මත පළ කරන්නේ අනතුරට හේතුව යානය සතු ව තිබූ ‘කළු පෙට්ටි’ හෙවත් ඉලෙක්ට්‍රොනික දත්ත පටිගත කරන යන්ත්‍ර මඟින් අනාවරණ කරගත හැකි බවයි. ගුවන් යානයක නියමු කුටියේ සිදුවන සංවාද පටිගත කිරීම සඳහා එක් රෙකෝඩරයකුත්, පියාසැරියේ දත්ත පටිගත කරගැනීම සඳහා තවත් රෙකෝඩරයකුත් භාවිත කරනවා. සාමාන්‍යයෙන් මෙවැනි දත්ත පටිගත කිරීමේ යන්ත්‍ර තැන්පත් කර තිබෙන්නේ ගුවන්යානයේ පසුපස කොටසේයි. අනතුරක දී අවම හානියකට ලක් වන්නේ ගුවන්යානයක පසුපස වල්ගාසන්න ප්‍රදේශය වීම එයට හේතුවයි.

BBC වාර්තා කරන්නේ යානය ගුවන්තොටුපළෙන් එසවී ගුවන් ධාවන පථයේ අන්තයට නුදුරින් පිහිටි වෛද්‍ය සිසුන්ගේ නේවාසිකාගාර ගොඩනැඟිල්ලට පහත්වන ආකාරය දැක්වෙන වීඩියෝපට අධ්‍යයනය කරන විට අසාමාන්‍ය ලක්ෂණ දෙකක් නිරීක්ෂණය වන බව ගුවන් ගමන් විශේෂඥයන් පවසන බවයි. පළමු වැන්න යානය ගුවනට එසවීමෙන් පසු එහි රෝද පද්ධතිය හැකිලීමට ලක් නො වී තිබීමයි. දෙවැන්න යානයේ පියාපත් පිටුපස ඇති ෆ්ලැප්ස් (flaps) පියාපතට සමාන්තරව ම දිගහැරී පැවතීමයි.

අනතුරින් මියගිය අයගේ පවුල්වලට වන්දි වශයෙන් ඉන්දීය රුපියල් කෝටිය බැගින් ලබා දෙන බව Air India ගුවන් සේවය අයත් ටාටා සමූහ ව්‍යාපාරය නිවේදනය කර සිටියා. තුවාල ලබා රෝහල්ගත කළ සියලු දෙනාගේ පිරිවැය තම සමාගම දැරීමටත්, විනාශයට පත් වෛද්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ල යළි ඉදිකිරීමේ වගකීම භාරගැනීමටත් සමාගම පියවර ගෙන තිබෙනවා.

Boeing සමාගම 787 Dreamliner යානයෙන් මගීන් බිලියනයක් ප්‍රවාහනය කිරීමේ කඩඉම පසුකළේ ඉකුත් මාසයේ දීයි. පසුගිය සමයේ Boeing සමාගමේ නිෂ්පාදිත ගුවන්යානා කිහිපයක් ම අනතුරුවලට ලක් වුවත්, මෙම මාදිලියට අයත් ගුවන් යානා කිසිවක් මේ වන තුරු අනතුරකට ලක් ව තිබුණේ නැහැ. මේ අනතුර වාර්තා වීමත් සමඟ Boeing සමාගමේ කොටස් 5%කින් පහළ වැටුණු බව විදෙස් ආර්ථික පුවත් වාර්තා කරනවා.

සත්‍ය හෙට්ටිආරච්චි   

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications