දකුණු තුර්කියේ කෙකෝවා දූපත ආසන්නයේ අඩි 100 ක් පමණ ගැඹුරු මුහුදේ තිබී වසර 4,700 කට වඩා පැරණි නෞකාවක සුන්බුන් සොයා ගැනීමට පුරාවිද්යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙය දැනට හමු වූ ලොව පැරණිතම නෞකා සුන්බුන් බවටයි විශ්වාස කෙරෙන්නේ.
තුර්කියේ සංස්කෘතික අමාත්යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම කැණීම්වල දී පුරාණ කාලයේ ද්රව්ය ගබඩා කිරීමට භාවිත කළ ‘ඇම්ෆෝරා’ (amphorae) නමැති මැටි බඳුන් රැසක් ගොඩගැනීමට ද පුරාවිද්යාඥයන් සමත් ව තිබෙනවා. වසර 4,400 සිට 4,700 දක්වා අතීතයකට හිමිකම් කියන මෙම බඳුන් මඟින් එකල සාගර තරණ ඉතිහාසය, නාවිකයන්ගේ දෛනික ජීවිතය සහ පැවැති වෙළඳ සබඳතා පිළිබඳ නව තොරතුරු රැසක් අනාවරණය වනවා.
මෙම මැටි බඳුන් ප්රධාන වශයෙන් ඔලිව් තෙල් හෝ වයින් ප්රවාහනය සඳහා භාවිත කර ඇති බවට විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත්, එක් ඇම්ෆෝරා බඳුනක විශේෂිත සලකුණු සහ සිදුරු දෙකක් පැවතීම හේතුවෙන්, එය යෝගට්, චීස් හෝ බටර් සෑදීමට භාවිත කර ඇති බව පර්යේෂකයන් පවසනවා. මෙමඟින් නාවිකයන් තම දීර්ඝ මුහුදු ගමන් අතරතුර එළුවන් වැනි සතුන් ද නැව තුළ පවත්වා ගනිමින් උන්ගේ කිරිවලින් කිරි නිෂ්පාදන සකස් කරගන්නට ඇති බවට අනුමාන කෙරෙනවා.
අන්ටාලියාහි අක්ඩෙනිස් විශ්වවිද්යාලයේ මහාචාර්ය හකාන් ඔනිස්ගේ මෙහෙයවීමෙන් සිදුකළ මෙම පර්යේෂණයේ දී, මෙකී නෞකාවට අදාළ ව සුන්බුන් මුලින් ම හමු වී ඇත්තේ මීට වසර හතරකට පෙරයි.
ආරම්භයේ දී මෙම බඳුන් මෑත කාලීන ඒවා ලෙස සැලකුව ද, ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසලින් හමු වූ ඇම්ෆෝරා පිළිබඳ ලේඛන අධ්යයනය කිරීමේ දී ඒවා අතර දැඩි සමානකමක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. පසු ව ඕස්ට්රේලියානු ජාතික පුරාවිද්යාඥ කෑරින් සොවාඩා මහත්මිය ඇතුළු විද්වතුන් පිරිසක් සමඟ කළ වැඩිදුර විශ්ලේෂණයන්ගෙන් පසු ව, මෙය ලොව පැරණිතම නෞකා සුන්බුන් බවට ස්ථිර කරගෙන තිබෙනවා. මැටි බඳුන්වලට අමතර ව එහි තිබී හමු වූ නැංගුරම් ඇතුළු අනෙකුත් පුරාවස්තු ද මෙම කාලසීමාව ම සනාථ කරනවා.
තුර්කියේ සංස්කෘතික හා සංචාරක අමාත්ය මෙහ්මෙට් නූරි අර්සෝයි ප්රකාශ කරන්නේ, මැටි පරීක්ෂාවන්ට අනුව මෙම බඳුන් ජෝර්දාන් නිම්නයේ පිහිටි නිෂ්පාදනාගාරවල නිපදවා ඇති බවයි.
මෙවැනි ම බඳුන් ඊජිප්තුව, ට්රෝයි සහ ක්රීට් යන ප්රදේශවලින් ද හමු වී ඇති බැවින්, එවකට පැවැති සාගරික වෙළඳ ජාලයන් තේරුම් ගැනීමට මෙය ඉතා වැදගත් සාධකයක් වනවා. නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ දී එය ලෙවන්ට් වෙරළ තීරයේ සිට ට්රෝයි හෝ ක්රීට් දූපත දෙසට ගමන් කරමින් තිබෙන්නට ඇති බව පර්යේෂකයන් විශ්වාස කරනවා.