Home Science News 2026 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ

2026 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ

by Sathya

2026 වසරේ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රංශයේ පැරිස්-සුඩ් විශ්වවිද්‍යාලයේ හෙන්රි බී. කගන් (Henri B. Kagan) සහ ජපානයේ ටෝකියෝ විද්‍යා විශ්වවිද්‍යාලයේ කෙන්සෝ සොවායි (Kenso Soai) වෙත පිරිනැමීමට ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය තීරණය කර තිබෙනවා. අසමමිතික කාබනික සංස්ලේෂණයේ දී (asymmetric organic synthesis) රේඛීය නො වන බලපෑම් සහ ස්වයංප්‍රේරණය (autocatalysis) සොයාගැනීම වෙනුවෙන් ඔවුන්ට මෙම ගෞරවනීය ත්‍යාගය හිමි වනවා.

ඇමයිනෝ අම්ල වැනි සමහර අණු, එකිනෙකෙහි කැඩපත් ප්‍රතිබිම්බ (mirror images) වන ප්‍රභේද දෙකක් ලෙස පවතින නමුත් ජීවීන් තුළ අඩංගු වන්නේ ඉන් එක් ප්‍රභේදයක් පමණයි. මෙවැනි රසායනික අසමමිතිකතාවයක් (chemical asymmetry) ස්වාභාවිකව ඇතිවූයේ කෙසේ ද යන්න රසායන විද්‍යාඥයින්ට ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පැවති විශාල අභිරහසක් වුණා. හෙන්රි බී. කාගන් සහ කෙන්සෝ සොවායි මෙලෙස නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ එම ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් සොයා ගැනීම වෙනුවෙන්.

1986 වසරේ දී හෙන්රි කාගන් විසින් රසායනික ප්‍රතික්‍රියා හැසිරවීමේ නව ක්‍රමයක් සොයා ගත් අතර, ඒ හරහා මින් පෙර කළ හැකි යැයි සිතුවාට වඩා එක් ප්‍රතිබිම්බයකින් වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීමට ඔහු සමත් වුණා. අනතුරුව ජපාන ජාතික කෙන්සෝ සොවායි විසින් 1995 දී සමකෛරල (homochiral) වීමේ හැකියාව ඇති ප්‍රථම රසායනික ප්‍රතික්‍රියාව සැලසුම් කළ අතර, 2003 වසරේ දී ඔහු විසින් කැඩපත් ප්‍රතිබිම්බ දෙකෙන් එකක් පමණක් සෑදෙන ප්‍රතික්‍රියාවක් සාර්ථක ව ඉදිරිපත් කරනු ලැබුවා.

වර්තමානයේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රතික්‍රියා සැලසුම් කරන රසායන විද්‍යාඥයින් හට මොවුන්ගේ මෙම සොයාගැනීම් ඉතා තීරණාත්මක වී තිබෙනවා. 1930 වසරේ ප්‍රංශයේ උපත ලද කාගන් සහ 1950 වසරේ ජපානයේ උපත ලද සොවායි යන විද්‍යාඥයින් දෙදෙනා අතර, ස්වීඩන් ක්‍රෝනර් මිලියන 12ක සම්පූර්ණ නොබෙල් ත්‍යාග මුදල සම සම ව බෙදී යනු ඇති.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications