Home Science News මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි

මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි

by Sathya

NASA ආයතනයේ ඓතිහාසික ඇපලෝ සඳගමන මෙහෙයුම්වලට අදාළ මෘදුකාංග සංවර්ධන කටයුතුවලට නායකත්වය දුන්, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ පුරෝගාමිනියක වූ මාග්‍රට් හැමිල්ටන් (Margaret Hamilton) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 90 වැනි වියේ පසු වුණා.

1959 වසරේ සිට 1970 දශකයේ මැද භාගය දක්වා ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ (MIT) සේවය කළ ඇය, පළමු වරට මිනිසුන් සඳ මතට ගෙන ගිය ඇපලෝ මෙහෙයුම්වලට පරිගණක මෘදුකාංග නිර්මාණය කළ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. විශේෂයෙන් ම 1969 වසරේ සිදු වූ ඓතිහාසික ඇපලෝ 11 චන්ද්‍ර මෙහෙයුමේ දී, සඳ මත ගොඩබෑමට සුළු මොහොතකට පෙර පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් (1202 error) මඟහරවා ගනිමින් මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකි වූයේ ඇයගේ කණ්ඩායම විසින් නිර්මාණය කර තිබූ ප්‍රමුඛතා-ධාවක සුවිශේෂ මෘදුකාංග සැලැස්ම (priority-driven software) හේතුවෙන් බව සඳහන්.

‘මෘදුකාංග ඉංජිනේරුකරණය’ (Software Engineering) යන යෙදුම ලොවට හඳුන්වා දීමට සහ එය වෙන ම ම වෘත්තීය ක්ෂේත්‍රයක් ලෙස ස්ථාපිත කිරීමට ද මාග්‍රට් හැමිල්ටන් මූලික වුණා. MIT ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඇය සාර්ථක ව්‍යවසායිකාවක ලෙස Higher Order Software සහ Hamilton Technologies යන මෘදුකාංග සමාගම් පිහිටුවමින් ඒවායේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළා.

තාක්ෂණික ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කළ අමිල සේවය අගයමින් 2016 වසරේ දී එවකටඅමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් ඇයට ‘Presidential Medal of Freedom’ සම්මානය පිරිනමනු ලැබුණා. ඊට අමතර ව 2003 වසරේ දී NASA ආයතනයෙන් පිරිනැමූ ‘Exceptional Space Act Award’ සම්මානය ඇතුළු ගෞරව සම්මාන රැසකින් ද ඇය පිදුම් ලබා තිබෙනවා.

1936 වසරේ අමෙරිකාවේ ඉන්දියානාහි උපත ලැබූ මාග්‍රට් හැමිල්ටන්, පසුකාලීන ව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසෙන කාන්තාවන්ගේ සැබෑ සංකේතයක් හා ආදර්ශයක් බවට පත් ව සිටියා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications