සඳ මත මෙතෙක් සොයා නොගත් භූගත ගුහා පවතින්නේ ද යන්න සොයා බැලීම සඳහා NASA ආයතනය විසින් නවතම වැඩසටහනක් දියත් කර තිබෙනවා. අතීතයේ ගලා ගිය ලාවාවලින් නිර්මාණය වූවා යැයි සැලකෙන විශාල භූගත ගුහාවක් හෝ ලාවා නළයක් සඳෙහි මතුපිට ඇති දැවැන්ත ආවාටයකින් ඔබ්බට විහිදී ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරනවා.
මෙම අභිරහස විසඳීම සඳහා NASA ආයතනය විසින් ‘GIMLI’ (Geophysical Instruments for Marius Lunar pit Investigation) නමින් ව්‍යාපෘතියක් තෝරාගෙන තිබෙනවා. මෙය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ අනාගත චන්ද්‍ර කඳවුරක් ඉදිකිරීමේ NASA ආයතනයේ අරමුණට සහාය වීම සඳහා සඳ පිළිබඳ අපගේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් තෝරාගත් වැඩසටහන් තුනෙන් එකක් වනවා.
මෙම ගවේෂණයේ ප්‍රධාන ඉලක්කය වන්නේ 2009 වසරේ දී ජපානයේ ‘Kaguya’ චන්ද්‍ර කක්ෂගත යානය මඟින් සොයා ගැනුණු ‘මාරියස් හිල්ස්’ ආවාටයයි (Marius Hills Pit). මෙය හුදෙක් සඳ මතුපිට ඇති විශාල සිදුරක් පමණක් නොව, එය අතීතයේ ගලා ගිය ලාවා මඟින් නිර්මාණය වූ දැවැන්ත භූගත ගුහාවකට සම්බන්ධ වී ඇති බවට පර්යේෂකයන් තුළ විශ්වාසයක් පවතිනවා. මෙය තහවුරු වුවහොත්, සඳෙහි අතීත ගිනිකඳු ක්‍රියාකාරකම් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂිතයි.
මෙම ලාවා නළවල පැවැත්ම තහවුරු වුවහොත්, අනාගතයේ දී අභ්‍යවකාශගාමීන්ට ඒවා ස්වාභාවික නවාතැන් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇති. අනාගත චන්ද්‍ර කඳවුරක දී මිනිසා විසින් සාදන ලද නවාතැන් ද ඇතුළත් වුව ද, මෙම ස්වභාවික ගුහා අභ්‍යවකාශගාමීන්ට ප්‍රයෝජනයට ගත හැකි සුවිශේෂී සම්පතක් වනු ඇති. සඳ මතුපිට පවතින අධික උෂ්ණත්ව වෙනස්වීම්, විකිරණ සහ ක්ෂුද්‍ර උල්කාපාතවලින් අභ්‍යවකාශගාමීන් ආරක්ෂා කරන ආරක්ෂිත “බංකර” ලෙස මෙම ගුහා යොදාගැනීමේ හැකියාව පවතිනවා.
GIMLI ව්‍යාපෘතිය සඳ මතුපිට සිට සෘජු ව ම ක්‍රියාත්මක වෙමින්, භූගත රේඩාර්, භූ කම්පන සංවේදක සහ ගුරුත්වාකර්ෂණ මාන භාවිත කරමින් මතුපිටින් යට ඇති දෑ පිළිබඳ දත්ත රැස් කිරීමට සූදානමින් සිටිනවා. මෙම මිනුම් මඟින් භූගත ලාවා නළයක් තිබේ ද සහ එය කෙතරම් විශාල ද යන්න තීරණය කිරීමට, එනම් සම්පූර්ණ අභ්‍යවකාශගාමී කණ්ඩායමකට එහි රැඳී සිටිය හැකි ද යන්න පිළිබඳව සොයා බැලීමට හැකිවනු ඇති.
මෙම ව්‍යාපෘතිය ලාභ නොලබන ආයතනයක් වන Planetary Science Institute – PSI විසින් මෙහෙයවනු ලබන අතර, NASAහි PRISM වැඩසටහන හරහා අරමුදල් සපයනු ලබෙනවා. මීට අමතරව උපකරණ ගොඩනැගීමට සහාය වීම සඳහා Honeybee Robotics සමාගම සහ නෝර්වේජියානු අභ්‍යවකාශ ඒජන්සිය ද මෙම ව්‍යාපෘතිය සඳහා තම දායකත්වය සපයනවා මෙම ගවේෂණ උපකරණ NASAහි වාණිජ චන්ද්‍ර ගෙවීම් සේවා (CLPS) වැඩසටහන හරහා ලෑන්ඩරයක් සහ රෝවරයක් මඟින් සඳ වෙත ගෙන යාමට නියමිතයි.