Home Science News අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

අඳුරු ශක්තියේ අබිරහස විසඳීමට මුල් විශ්වයේ ඇති හයිඩ්‍රජන් ආලෝකය උපකාරී වෙයි

by Sathya

විශ්වයේ වේගවත් ප්‍රසාරණයට හේතු වන ‘අඳුරු ශක්තිය’ (Dark Energy) නැමැති අබිරහස් බලවේගයේ ස්වභාවය අනාවරණය කර ගැනීම සඳහා අභ්‍යවකාශ විද්‍යාඥයන් විසින් නවතම පර්යේෂණ ක්‍රමවේදයක් සොයාගනු ලැබ තිබෙනවා. මේ සඳහා විශ්වයේ වඩාත් ම බහුල මූලද්‍රව්‍යය වන හයිඩ්‍රජන් යොදා ගැනීමට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් හැල්පර්න් ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් මෙහෙයවනු ලබන CHIME (Canadian Hydrogen Intensity Mapping Experiment) ව්‍යාපෘතිය මඟින්, විශ්වයේ ඈත අතීතයේ සිට පැමිණෙන හයිඩ්‍රජන්වල ඉතා දුර්වල රේඩියෝ සංඥා හඳුනා ගැනීමට සමත් වී තිබෙනවා. මෙය අඳුරු ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වන වේගවත් මෙන් ම අඩු වියදම් සහිත ක්‍රමවේදයක් ලෙස සැලකෙන අතර, එය CHIME ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් ද වනවා.

මහා පිපුරුමෙන් පසු විශ්වය ප්‍රසාරණය වීම ආරම්භ වූ අතර, එම ප්‍රසාරණය මන්දගාමී වීමෙන් පසු ව නැවතත් එය වේගවත් කිරීමට බලපෑ අබිරහස් බලවේගය ‘අඳුරු ශක්තිය’ ලෙස හැඳින්වෙනවා. වර්තමානය වන විට විශ්වයේ සමස්ත පදාර්ථ-ශක්ති සංයුතියෙන් 68% ක් ම සමන්විත වන්නේ මෙම අඳුරු ශක්තියෙන්.

අනාගතයේ දී මෙම අඳුරු ශක්තිය තවදුරටත් ප්‍රබල වුවහොත් මුළු විශ්වය ම ඉරී යාමට ඉඩ ඇති අතර, එය දුර්වල වී ගුරුත්වාකර්ෂණය යළිත් ප්‍රබල වුවහොත් විශ්වය නැවතත් සංකෝචනය වී මහා පිපුරුම අසල දී පැවති ආකාරයටම විනාශ වී යාමට ඉඩ ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. මේ නිසා ම මෙම අබිරහස් බලවේගය කුමක් ද යන්න නිවැරදි ව හඳුනාගැනීමට විද්‍යාඥයින් දැඩි උනන්දුවක් දක්වනවා.

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂක අර්නබ් චක්‍රබෝර්ති සඳහන් කරන පරිදි, තරු නිර්මාණය වීම සඳහා මූලික ව ම දායක වන හයිඩ්‍රජන්වලින් නිකුත් වන දුර්වල රේඩියෝ තරංග විශ්වය පුරා පදාර්ථය බෙදී ඇති ආකාරය හඳුනාගැනීම සඳහා අගනා සලකුණක් ලෙස ක්‍රියා කරනවා.

මීට පෙර CHIME ව්‍යාපෘතිය මඟින් හයිඩ්‍රජන් ව්‍යාප්තිය සිතියම් ගත කිරීම සඳහා වෙනත් දුරේක්ෂවල දත්ත ද උපයෝගී කරගත යුතු වූ නමුත්, මේ වන විට තනි ව ම හයිඩ්‍රජන් රේඩියෝ සංඥා සිතියම් ගත කිරීමේ හැකියාව තම උපකරණ සතු වන බව පර්යේෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

මෙම කණ්ඩායම විසින් 2019 වසරේ දින 94 ක නිරීක්ෂණ දත්ත භාවිත කරමින්, මේ වන විටත් විශ්වයට වයස අවුරුදු බිලියන 5 ක් පමණ වන කාලයේ පැවති හයිඩ්‍රජන් සංඥා සාර්ථකව හඳුනාගෙන තිබෙනවා. ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂක ෂබීර් ෂෙයික් පවසන පරිදි, එම කාලයේ දී විශ්වයේ තිබූ හයිඩ්‍රජන්වලින් 2% ක් පමණ උදාසීන පරමාණුක ස්වරූපයෙන් පවතින්නට ඇතැ යි ඔවුන්ගේ දත්ත මඟින් පෙන්නුම් කරන අතර, එම හයිඩ්‍රජන් ව්‍යාප්ත වී ඇති ආකාරය මැනීමෙන් මන්දාකිණි නිර්මාණය වී පරිණාමය වූ ආකාරය පිළිබඳව නව තොරතුරු අනාවරණය කරගත හැකියි.

CHIME ව්‍යාපෘතිය මගින් මේ වන විට වසර හතක දත්ත රැස් කර ඇති අතර, මහා පිපුරුමෙන් වසර බිලියන 3 කට පමණ පසු කාලය දක්වා හයිඩ්‍රජන් ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම පර්යේෂකයන්ගේ මීළඟ ඉලක්කය වී තිබෙනවා. මෙම නවතම පර්යේෂණ තොරතුරු The Astrophysical Journal ජර්නලයේ පර්යේෂණ පත්‍රිකා දෙකක් ලෙස ප්‍රකාශයට පත් වුණා.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications