Home Science News ඉරානය ෆටා 1 අධිධ්වනික මිසයිලවලින් පහර දෙයි

ඉරානය ෆටා 1 අධිධ්වනික මිසයිලවලින් පහර දෙයි

by Sathya

ඉරානය සිය ෆටා (Fattah) අධිධ්වනික මිසයිල (Hypersonic missile) භාවිතයෙන් ඊශ්‍රායලය වෙත ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති බව ඉරාන පුවත් සේවා වාර්තා කරනවා. ඊශ්‍රායලය විසින් දියත් කරන ලද Rising Lion මෙහෙයුමට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරානය දියත් කළ True Promise III මෙහෙයුමේ 11 වැනි අදියර වශයෙන් මෙකී මිසයිලවලින් පහර දීම සිදුකරන බවයි ඉරානයේ ඉස්ලාම් විප්ලවීය හමුදාව (IRGC) නිවේදනය කළේ.

මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඉරාන ගුවන් සීමාවේ පාලනය මුළුමනින් ම සියතට ගැනීමට සමත් ව සිටිනවා. ඔවුන් ඉරාන මිසයිල නිෂ්පාදනාගාර සහ දියත් කිරීමේ ස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කෙසේ නමුත් ඊශ්‍රායලය වැඩි වාසියක් අත්කරගෙන සිටින අවස්ථාවේ පවා ඉරානය සිය ස්ථාවරය වෙනස් නො කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

IRGC නිවේදනය කළේ මෙම පළමු පරම්පරාවේ ෆටා අධිධ්වනික මිසයිල ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය වන බවයි. මෙය “ඊශ්‍රායලය සතු මිථ්‍යාමය” මිසයිල ආරක්ෂණ පද්ධතිවල “අවසානයේ ආරම්භය” වනු ඇති බව ද IRGC නිවේදනය කර තිබෙනවා.

මින් පෙර ඇති වූ ගැටුම්වල දී ද ෆටා මිසයිල යොදාගෙන ඊශ්‍රායලයට පහර දී ඇති නමුත්, මෙවර ඇති වූ යුද ගැටුමේ දී එය යොදාගැනුණේ ප්‍රථම වරටයි. 2023 දී එය හඳුන්වා දීමත් සමඟ ටෙහෙරාන් අගනුවර දැවැන්ත ප්‍රචාරණ දැන්වීමක් පළ කර තිබූ අතර එහි හීබෘෘ බසින් ‘ටෙල් අවිව් නගරයට තත්පර 400යි’ යනුවෙන් සඳහන් කර තිබෙනු දක්නට ලැබුණා.

ඉරානය ප්‍රථම වතාවට සිය ‘හජ් කසීම්’ නියෙමු අස්ත්‍ර බැලිස්ටික් මිසයිලය (guided ballistic missile) යොදාගනිමින් ද ඊශ්‍රායලය වෙත පහර දී තිබෙනවා. 2020 වසරේ ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය ඉරානයේ බලවත් හමුදා ප්‍රධානියෙකු වන නසීම් සුලේමානිගේ (Qassem Soleimani) නමින් එය නම් කර තිබෙනවා.

ඝන ඉන්ධන යොදාගන්නා මිසයිලය කිලෝමීටර 1,200ක අරීය වපසරියකට එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඉරාන මාධ්‍ය සඳහන් කරන පරිදි ඊශ්‍රායලය සතු THAAD සහ Patriot මිසයිල ආරක්ෂණ පද්ධතිවලින් බේරී ඉලක්ක වෙත ඇදී යාමේ හැකියාව එය සතුයි.

එය ඉකුත් මැයි මස මුල් වරට එළිදක්වනු ලැබුණේ ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසිර්සාදේ විසින්. වායුගෝලයට යළි ඇතුළු වීමේ දී මෙහෙයවාගෙන යා හැකි MaRV පද්ධතියක් මෙන් ම THAAD හා Patriot වැනි බලවත් මිසයිල ආරක්ෂක පද්ධති බිඳ දැමීමට නිර්මාණය කළ දෘශ්‍ය සහ අධෝරක්ත සංවේදක ඇතුළු උසස් මාර්ගෝපදේශ පද්ධතිවලින් එය සමන්විතයි. ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇති පරිදි එයට GPSවලින් වියුක්ත ව ඉලක්ක කිහිපයක් අතිරින් තනි විශේෂිත ඉලක්කයක් හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications