Home Science News NASA සේවකයෝ 4000ක් අස් වී ගෙදර යති

NASA සේවකයෝ 4000ක් අස් වී ගෙදර යති

by Sathya

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ සිදුවන ෆෙඩරල් සේවක කප්පාදුව හේතුවෙන් NASA ආයතනයේ සේවක පිරිස 3,900කින් පමණ අඩු වීමට නියමිත බව වාර්තා වනවා.

ඊමේල් මඟින් ප්‍රකාශයක් නිකුත් කරමින් NASA සඳහන් කර ඇත්තේ පසුගිය සිකුරාදා අවසානය දුටු ස්වේච්ඡා ඉල්ලා අස්වීමේ වැඩසටහනේ දෙවනි අදියර සඳහා 3,000 කට ආසන්න සේවක පිරිසක් සහභාගී වූ බවයි. පළමු වටයේ දී ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වීම සඳහා 870 දෙනෙකු ඉදිරිපත් ව තිබුණා. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනයට පෙර 18,000ක් ව පැවති NASA සේවක පරිස නුදුරේ දී දළ වශයෙන් 14,000 දක්වා අඩු වනවා. එය 20%කට වැඩි සේවක කප්පාදුවක්.

ස්වේච්ඡා ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූ පිරිස එකඟ වූ නිශ්චිත දිනයක් දක්වා පරිපාලනමය නිවාඩු ගිය අය ලෙස සැලකෙන අතර විශ්‍රාම යැවෙන්නේ එම දිනයෙන් අනතුරුවයි. NASA හි මාධ්‍ය ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ මේ අනුව ඉදිරි දිනවල දී සේවක පිරිස කෙමෙන් අඩු වනු දැකිය හැකි වන බවයි.

“සුරක්ෂිත බව අප ආයතනයේ ප්‍රමුඛතම අරමුණක් ලෙස පවතිනවා. අපි වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සංවිධානයක් බවට පත්වීමේ අවශ්‍යතාව මුදුන්පත් කරගනිමින්, චන්ද්‍රයා සහ අඟහරු පාදක කරගත් නව ගවේෂණයන්‍ගේ හා නවෝත්පාදනයේ ස්වර්ණමය යුගයක් ලුහුබැඳ යාමට අපට පූර්ණ හැකියාව ඇති බව සහතික කිරීමට අපි කටයුතු කරනවා” යි NASA නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

ධවල මන්දිරය පවසන්නේ චීනය සඳ මතට මිනිසෙකු යැවීමට පෙර නැවත සඳ වෙත ඇමරිකානුවෙකු යැවීමත්, අඟහරු මතට ප්‍රථම මිනිසා යැවීමත් සිය අභිලාශය බවයි. චීනය 2030 වන විට සඳ මතට මිනිසෙකු යැවීමේ අපේක්ෂාවෙන් පසු වන අතර ඇමරිකාවේ Artemis මෙහෙයුම් වාර ගණනාවක දී පමාවට ලක් වෙමින් පවතිනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications