Science News සිල්වර්පිට් ආවාටය හැදුණේ ග්‍රහක ගැටුමකින් බව තහවුරු කරගැනේ SathyaSeptember 24, 2025082 views එක්සත් රාජධානියේ යෝක්ෂයර් වෙරළට සැතපුම් 80ක් ඔබ්බෙන්, මුහුදු පතුලට ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය (silverpit crater) විද්‍යාඥයන් අතර දශක ගණනාවක් පුරා දිවෙන විවාදයකට හේතුව වී තිබුණා. ඒ එය ග්‍රහකයක ගැටීමකින් හටගත්තේ ද, නැතිනම් භූ විද්‍යාත්මක හැසිරීමක ප්‍රතිඵලයක් ලෙස සරල ව හටගත්තේ ද යන්නයි. අද, මෙකී දිගුකාලීන විද්‍යාත්මක විවාදයට සමථයට පත් කරමින් උතුරු මුහුද යට, මුහුදු පතුලට මීටර් 700ක් ගැඹුරින් පිහිටි සිල්වර්පිට් ආවාටය බොහෝ විට වසර මිලියන 43කට පමණ පෙර යෝර්ක් මින්ස්ටර් ගොඩනැඟිල්ල ප්‍රමාණයේ ග්‍රහකයක් හෝ ධූමකේතුවක් පෘථිවියට ගැටීමෙන් හටගත්තක් බව විද්‍යාඥයන් පවසනවා. මීටර් 160ක් පළල එම ග්‍රහකය මුහුදට වැටීමෙන් මීටර් 100ක් උස රළ පහරක්, එනම් සුනාමි තත්ත්වයක් ඇති කළ බව විද්‍යාඥයන් පවසනවා. එය එම ප්‍රදේශයේ සිටි මුල්කාලීන ක්ෂීරපායන් හට අවාසනාවන්ත දවසක් වන්නට ඇති නමුත්, වසර මිලියන 66කට පෙර ඩයිනෝසරයන් වඳ වී යාමට හේතු වූ ග්‍රහක ගැටීමේ ප්‍රතිවිපාක තරම් බරපතල නො වූ බව පෙනෙනවා. මිහිමත වාසය කළ ජීව විශේෂවලින් 75%ක් පමණ ම තුරන් කර දැමූ, පළලින් සැතපුම් 6ත් 9ත් අතර වූ ග්‍රහක ගැටුමකින් ඇති වූ Chicxulub ආවාටයට මෙය කිසි ලෙසකින් වත් සම කළ නො හැකි නමුත්, වත්මන් එක්සත් රාජධානිය ආසන්නයේ පිහිටි silverpit ආවටය ද ඉතා ම වැදගත් හා රසවත් එකක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. නිම්නා අමරසේකර