Home Science News Shenzhou-21 වෙනුවෙන් නියමු රහිත කැප්සියුලයක් යවන ලකුණු

Shenzhou-21 වෙනුවෙන් නියමු රහිත කැප්සියුලයක් යවන ලකුණු

by Sathya

තවත් චීන අජටාකාශගාමීන් තිදෙනෙක් චීනයට අයත් ටියැන්ගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මේ වන විට ‘සිර වී’ සිටිනවා. විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ උද්ගත ව ඇති නවතම තත්ත්වය අභ්‍යවකාශය හා සම්බන්ධ චීන ක්‍රියාපටිපාටියේ අඩුපාඩු ඉස්මතුකර පෙන්වන බවයි.

මේ වන විට ටියැන්ගොංහි මෙතෙක් යළි පෘථිවියට ළඟා වීමේ හැකියාවක් නොමැති ව රැඳී සිටීමට සිදු ව තිබෙන්නේ ශැං ලූ, වූ ෆෙයි සහ ශැං හොංශැං යන ගගනගාමීන් තිදෙනායි. ඔවුන් තිදෙනා රැගත් Shenzhou-21 මෙහෙයුම ටියැන්ගොං වෙත පිවිසුණේ පසුගිය ඔක්තෝබර් 31 වැනි දා යි. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ නොවැම්බර් 05 වැනි දා ඉන් පිට ව යාමට නියමිත ව තිබූ වෑං ජියේ, චෙං ශොන්ගෘයි චෙන් ඩොං යන ගගනගාමීන් ඇතුළු Shenzhou-20 මෙහෙයුමෙන් අභ්‍යවකාශ නැවතුම්පොළ මෙහෙයුම් කටයුතු තමන්වෙත පවරාගෙන ඔවුන්ගේ සේවා මුරය නිදහස් කිරීමයි. කෙසේ නමුත් Shenzhou-20 ගගනගාමීන් හට පෘථිවියට පැමිණීමට තවත් කාලයක් බලා සිටීමට සිදු වූයේ ඔවුන් ගොඩවිය යුතු කැප්සියුලයේ අභ්‍යවකාශ සුන්⁣බුන් කොටසක් වැදීමෙන් සිදු වූ පලුදු වීමක් නිරීක්ෂණය වී යාම සමඟයි.

අවසානයේ ඔවුන්ට අමතර දින කිහිපයක් ම ටියැන්ගොං නැවතුම්පොළේ රැඳී සිටීමට සිදු වූ අතර, ඉකුත් නොවැම්බර් 14 වැනි දා Shenzhou-21 මෙහෙයුමට අනුයුක්ත කැප්සියුලය හරහා ඔවුන් නිරුපද්‍රිත ව පෘථිවියට ගෙන්වා ගැනීමට පියවර ගැනුණා. නමුත් මේ වන විට Shenzhou-21 මෙහෙයුමේ ගගනගාමීන් හට පැමිණීමට හැකි කැප්සියුලයක් ටියැන්ගොං සමඟ ඈඳී නැහැ. කෙසේ නමුත් නිල නො ලත් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ චීන⁣ නියමු අභ්‍යවකාශ නියෝජිතායතනය (China Manned Space Agency – CMSA) විසින් මොවුන් සඳහා නියමු රහිත කැප්සියුලයක් ටැයැන්ගොං වෙත යැවීමට කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි. එය ලබන නොවැම්බර් 24 දා ට ආසන්න දිනක දී සිදු වනු ඇති බවට සඳහන්.

කෙසේ වෙතත්, Shenzhou-21 කාර්ය මණ්ඩලයට ඊට පෙර යම් අවදානම් සහගත අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත්, (උදාහරණයක් ලෙස තවත් තවත් අභ්‍යවකාශ අපද්‍රව්‍ය (space junk) බලපෑමක් වැනි තත්ත්වයක්) ඔවුන්ට ආරක්ෂිතව පෘථිවියට නැවත පැමිණීමට නො හැකි වීමේ අවදානමක් ද තිබෙන බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

​”ෂෙන්ෂෝ-20 කාර්ය මණ්ඩලය ගෙදර පැමිණීම ගැන මම ඉතා සතුටු වෙනවා. නමුත් ආදේශක කාර්ය මණ්ඩලයට පෘථිවියට ආපසු ඒමට වාහනයක් නොමැති වීම තරමක් කනස්සල්ලට කරුණක්,” කොලරාඩෝ හි පිහිටි Secure World Foundation නම් ලාභ නො ලබන සංවිධානයේ අභ්‍යවකාශ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂ වික්ටෝරියා සැම්සන් Scientific American වෙත සඳහන් කරනවා.

​ආපසු පැමිණීම සඳහා යැවෙන කැප්සියුලය ටියැන්ගොං වෙත පැමිණි පසු, හානියට පත් ෂෙන්ෂෝ-20 කැප්සියුලය ද ඈඳුම් ස්ථානයෙන් වෙන් කර පැසිෆික් සාගරයට ඉහළින් කක්ෂයෙන් ඉවත් කරනු ඇතැ යි ද වාර්තා වනවා. ෂෙන්ෂෝ-21 කාර්ය මණ්ඩලය මුලින් සැලසුම් කළ පරිදිම ඔවුන්ගේ මාස හයක මෙහෙයුම සම්පූර්ණ කරනු ඇතැ යි ද අපේක්ෂා කෙරෙනවා.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications