ජානමය වශයෙන් වෙනස් කරන ලද සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන්, වකුගඩු අකර්මණ්‍ය වූ 66 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙකු වාර්තාගත ලෙස මාස නවයක (දින 271ක) කාලයක් ජීවය පවත්වාගෙන යාමේ ඓතිහාසික පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා. මෙය සූකර වකුගඩුවක් මානව වකුගඩුවක් ලැබෙන තෙක් ‘තාවකාලික පාලමක්’ ලෙස සාර්ථක ව යොදාගත් ලොව ප්‍රථම අවස්ථාව ලෙස ද වෛද්‍ය විද්‍යා ඉතිහාසයට එක් ව තිබෙනවා.
දියවැඩියාව හේතුවෙන් ඇති වූ අවසන් අදියරේ වකුගඩු රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි ටිම් ඇන්ඩෘස් නැමැති මෙම රෝගියාට, වසර පහක් ඇතුළත මිනිස් වකුගඩුවක් ලැබීමේ සම්භාවිතාව පැවතියේ 9% ක් වැනි ඉතා සුළු මට්ටමකයි. ඇමරිකාවේ මැසචුසෙට්ස් හි පිහිටි ‘Mass General Brigham’ රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ඔහුට බද්ධ කරන ලද්දේ ‘විල්මා’ නම් වූ යුකටාන් කුරු ඌරෙකුගේ (Yucatan miniature pig) වකුගඩුවක්. මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ගැළපෙන පරිදි සහ වෛරස අවදානම් මඟහරවා ගැනීම සඳහා මෙම වකුගඩුව ලබා ගැනීමට පෙර අදාළ ඌරාගේ ජාන 69 ක් සංස්කරණය කර තිබීම ද විශේෂත්වයක්.
මෙම බද්ධ කිරීම හේතුවෙන් ටිම් ඇන්ඩෘස්ට මාස නවයක කාලයක් පුරා රුධිර කාන්දුකරණයෙන් තොර ව තම සුරතල් බල්ලා සමඟ ඇවිදීමට යාම, ඉවුම් පිහුම් කිරීම වැනි එදිනෙදා වැඩකටයුතු කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබී තිබුණා. මෙය ජීවත් ව සිටින මිනිසෙකු තුළ සූකර අවයවයක් (xenograft) සාර්ථක ව ක්‍රියාත්මක වූ දීර්ඝතම කාලසීමාව ලෙස Lancet වෛද්‍ය ජර්නලය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මාස නවයකට පමණ පසු මෙම සූකර වකුගඩුවේ රුධිර නාලවලට හානි වීමෙන් එය අක්‍රීය වීමට පටන් ගෙන තිබෙනවා. ඉන් අනතුරුව, රුධිර කාන්දුකරණය මත යැපුණු ඔහුට මියගිය පුද්ගලයෙකුගෙන් ලබාගත් මානව වකුගඩුවක් සාර්ථකව බද්ධ කරීමට හැකියාව ලැබුණා. විශේෂිත ම කරුණ වන්නේ, කලින් බද්ධ කළ සූකර වකුගඩුව හේතුවෙන් නව මානව වකුගඩුවට කිසිදු බලපෑමක් හෝ ඌරන්ට වැළඳෙන කිසිදු වෛරසයක් රෝගියාගේ ශරීරයෙන් වාර්තා නො වීමයි.
ලොව පුරා වකුගඩු බද්ධ කිරීමක් අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනක් වූ රෝගීන්ට මෙම පුවතින් නව බලාපොරොත්තුවක් හිමිවනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැසචුසෙට්ස් රෝහලේ වෛද්‍ය ලෙනාඩෝ රියෙල්ලා පවසන්නේ, “අවයව හිඟය යනු වර්තමානයේ බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ අප මුහුණ දෙන දැවැන්තම අර්බුදයයි. මෙවැනි අත්හදාබැලීම් මගින් රෝගීන්ට මිනිස් වකුගඩුවක් ලැබෙන තෙක් රුධිර කාන්දුකරණයෙන් තොරව ඔවුන්ගේ ජීවිතය රැකගැනීමටත්, අනාගතයේදී මෙය ස්ථිර ප්‍රතිකාරයක් බවට පත් කිරීමටත් අපේක්ෂා කරනවා” යනුවෙන්.
මෙම බද්ධ කිරීම තමාට ලැබුණු “ආශ්චර්යයක්” ලෙස හැඳින්වූ රෝගියා, විද්‍යාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවැනි පර්යේෂණ සඳහා ඉදිරිපත් වූ සැබෑ පුරෝගාමියෙකු ලෙස වෛද්‍යවරුන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබෙනවා.