වසර මිලියන 95කට පෙර පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්, අබිරහස් දේශයක් ව පැවතුණා. මෑතක දී නයිජර් රාජ්‍යයෙන් හමු වූ නවතම ඩයිනෝසෝර විශේෂයක් වන Spinosaurus mirabilis (ලතින් භාෂාවෙන් “විස්මිත ස්පයිනෝසෝරස්”) පිළිබඳ තොරතුරු විද්‍යා ලොව මහත් ආන්දෝලනයකට ලක් ව ඇත්තේ, ඩයිනෝසෝරයන්ගේ ජීවන රටාව පිළිබඳ අප මෙතෙක් දැරූ මතයන් රැසක් උඩුයටිකුරු කිරීමට එය හේතු වන නිසයි. හිස මුදුනේ පිහිටි දැවැන්ත ශිඛාව සහ පිටේ ඇති රුවල් වැනි ව්‍යුහය නිසා මෙම සත්වයා සැබවින් ම විස්මිත ස්වරූපයකින් දිස් වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. මෙම සොයාගැනීම වඩාත් වැදගත් වන්නේ ඩයිනෝසෝරයන් ජලයේ පීනමින් දඩයම් කළ බවට මෙතෙක් පැවති ජනප්‍රිය මතය විද්‍යාත්මක ව අභියෝගයට ලක් කරන බැවින්.
චිකාගෝ විශ්වවිද්‍යාලයේ සුප්‍රකට පාෂාණධාතු විද්‍යාඥ පෝල් සෙරෙනෝ මෙම නව ඩයිනෝසෝරයා හඳුන්වා දීමට “නිරයේ කොකා” හෙවත් Hell Heron යන අන්වර්ථ නාමය භාවිතා කරනවා. මීට පෙර බොහෝ විද්‍යාඥයන් තර්ක කළේ ස්පයිනෝසෝරයන් පෙන්ගුවින් සතුන් මෙන් ජලය යට කිමිදී දඩයම් කරන සැබෑ ජලජ ජීවීන් බවයි. නමුත් සෙරෙනෝ පෙන්වා දෙන්නේ මොවුන් කොකුන් වැනි අර්ධ-ජලජ ඇවිදින්නන් විය යුතු බවයි.

මෙම සත්ත්වයාගේ පිට මත පිහිටි දැවැන්ත රුවල වන් ව්‍යුහය (Back sail) නිසා ශරීරයේ බර අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබුණේ එය ජලය යට වේගයෙන් පිහිනීමට අවශ්‍ය වන සුනම්‍යශීලී බවට බාධාවක් වෙමින්. සෙරෙනෝට අනුව මොවුන් පිහිනා යන්නන්ට වඩා මීටර් දෙකක් පමණ ගැඹුරු ජලයේ සිය ශක්තිමත් පාද ආධාරයෙන් ඇවිදිමින් දඩයම් කළ සතුන් වනවා.
“සැබවින්ම ජලජ ජීවියෙකු වූ සත්වයෙකු, වෙරළ තීරයේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් වූ ගංගා නිම්න තැන්පතුවකින් හමුවීමට කිසිසේත් ම ඉඩක් නෑ.” සෙරෙනෝ පෙන්වා දෙනවා.
නවතම පොසිලය සොයාගැනුණු සුවිශේෂී ගවේෂණය ආරම්භ වූයේ 2019 වසරේ දීයි. සහරා කාන්තාරයේ වෙසෙන සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ ද සහාය ඇති ව, පැය ගණනාවක දුෂ්කර පා ගමනකින් පසු විද්‍යාඥ කණ්ඩායම මෙම පොසිල සහිත අඩවිය සොයා ගෙන තිබුණා. එහි දී ඔවුන් දුටු අස්ථි සාමාන්‍ය සහරා පොසිලවලට වඩා හාත්පසින් ම වෙනස් ස්වභාවයක් ගත් බව සඳහන්.
එම අස්ථි තද කළු පැහැයක් ගෙන තිබුණේ එහි අඩංගු වූ අධික ෆොස්පේට් සාන්ද්‍රණය හේතුකොටගෙනයි. සිය වසර 25ක ගවේෂණ ඉතිහාසය තුළ සහරා කාන්තාරයෙන් මෙවැනි කළු පැහැති පොසිල කිසි දිනක දැක නොමැති බව පවසන සෙරෙනෝ, මෙය තම ජීවිතයේ ලැබූ දුර්ලභතම අත්දැකීමක් ලෙස හඳුන්වනවා.
2019 දී මෙම අඩවිය මුලින් ම සොයාගත් අවස්ථාවේ දී, එහි වූ සමහර අස්ථි සිරුරේ අනෙක් කොටස් සමඟ සම්බන්ධ වන්නේ කෙසේ දැ යි වටහා ගැනීමට විද්‍යාඥයන් අපොහොසත් වුණා. විශේෂයෙන් ම අසමමිතික සහ අමුතු හැඩයක් ගත් හිස් කබලේ කොටස් ඔවුන් ව ව්‍යාකූල කර තිබුණා. නමුත් මෙම අබිරහස විසඳුණේ 2022 වසරේ දී වඩාත් දැවැන්ත විද්‍යාඥ කණ්ඩායමක් නැවත එම ස්ථානයට ගොස්, හිස මුදුනේ ශිඛාව (Crest) තවමත් සම්බන්ධ වී පවතින හිස් කබලක් සොයා ගැනීමත් සමඟයි.
CT ස්කෑන් පරීක්ෂණ මඟින් හෙළි වූයේ මෙම අස්ථිමය ශිඛාව තුළ රුධිර නාල විශාල ප්‍රමාණයක් තිබූ බවයි. එමෙන් ම එය ජීවත් ව සිටිය දී කේරටීන් ස්ථරයකින් වැසී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මීටර් 0.5ක් පමණ උසැති මෙය, මස් අනුභව කරන ඩයිනෝසෝරයෙකුගෙන් මෙතෙක් හමුවූ උස ම ශිඛාව ලෙස වාර්තා අතරට යනවා. විද්‍යාඥයන් පවසන්නේ මෙම ශිඛාව පිහිනීමට උදවු වූවක් නොව, සහකරුවන් ආකර්ෂණය කර ගැනීමට හෝ ප්‍රතිවාදීන් හඳුනා ගැනීමට භාවිතා කළ අලංකාර අවයවයක් වූ බවයි.
Spinosaurus mirabilis ගේ දත් පිහිටීම ද සුවිශේෂ වනවා. එහි පහළ හනුවේ දත් පිටතට නෙරා විත් තිබූ අතර ඒවා ඉහළ හනුවේ දත් අතරට මනාව ගැළපෙන සේ පිහිටා තිබුණා. මෙය මසුන් දඩයම් කරන සත්වයෙකුගේ ස්වභාවික ලක්ෂණයක් ලෙස හඳුනාගැනෙනවා. කෙසේ වෙතත්, මෙම මත්ස්‍ය දඩයක්කාරයාගේ පොසිල හමුවූයේ සාගර වෙරළේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි ගංගා නිම්නයකින් වීම විශේෂත්වයක්.
වඩාත් වැදගත් කරුණ නම්, මෙම පොසිල වැළලී තිබුණේ සෞරපෝඩ් (Sauropods) වැනි සම්පූර්ණයෙන් ම ගොඩබිම වාසය කරන දිගු බෙල්ලක් සහිත සතුන් සමඟ වීමයි. විද්‍යාඥයන් පවසන්නේ මෙමඟින් ස්පයිනෝසෝරයන් මුහුදේ පිහිනන ජීවීන්ට වඩා, ගොඩබිම අභ්‍යන්තරයේ ඇති ගංගා නිම්නවල සැරිසැරූ සතුන් බව තහවුරු වන බවයි.
Spinosaurus mirabilis ගේ සොයාගැනීම යනු විද්‍යාත්මක සාධක මත පදනම්ව පැරණි මතයන් ක්‍රමයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් සපයනවා. මොවුන් ජලයේ රජ කළ මත්ස්‍ය දඩයම්කරුවන් වුව ද, ඔවුන්ගේ සැබෑ ස්වභාවය පෙන්ගුවින්ලා මෙන් පිහිනීමට වඩා කොකුන් මෙන් නො ගැඹුරු ගංගා දිගේ ඇවිදීම බව දැන් පැහැදිලි වනවා. නවීන තාක්ෂණය සහ නො පසුබට ගවේෂණශීලී බව අතීතයේ සැඟවුණු රහස් හෙළි කර ගැනීමට කෙතරම් වැදගත් දැයි මෙම සොයාගැනීම අපට පසක් කර දෙන බව සෙරෙනෝ පෙන්වා දෙනවා.
සෞන්දර්ය සෙනරත්