Home Science News සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් Meta සහ Google වැරැදිකරුවන් කරමින් අධිකරණ තීන්දුවක්

සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධයෙන් Meta සහ Google වැරැදිකරුවන් කරමින් අධිකරණ තීන්දුවක්

by Sathya

ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් විසින් සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධ ව Meta සහ Google සමාගම් වගකිව යුතු බවට ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ කුඩා අවධියේ දී ම සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම නිසා සිය මානසික සෞඛ්‍යයට දැඩි හානි සිදු වූ බව පවසමින් 20 හැවිරිදි කේලි නම් තරුණියක විසින් පවරන ලද නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

මෙම තීන්දුවට අනුව, පැමිණිලිකාරියට ඇමරිකානු ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. මින් ඩොලර් මිලියන 3ක් සාමාන්‍ය වන්දි වශයෙන් ද, ඉතිරි මිලියන 3 දඬුවම් සහගත වන්දි වශයෙන් ද නියම කර ඇති අතර, සමාගම් සිය වේදිකාවන් ක්‍රියාත්මක කිරීමේ දී ‘දුෂ්ට ලෙස හෝ වංචනික ලෙස’ කටයුතු කර ඇති බව අධිකරණය මෙහි දී තීරණය කර තිබෙනවා. නියම කර ඇති පරිදි, වන්දියෙන් 70%ක් Meta සමාගම විසින් ද ඉතිරි 30% Google සමාගම විසින් ද ගෙවිය යුතු වනවා.

නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු අනුව, කේලි වයස අවුරුදු හයේ දී YouTube ද, නවයේ දී Instagram ද පරිශීලනය කිරීමට පටන් ගෙන තිබෙනවා. දිනකට පැය 16ක් තරම් දීර්ඝ කාලයක් ඇය සමාජ මාධ්‍ය භාවිත කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇය කාංසාව, විෂාදය සහ ශරීරයේ ස්වරූපය පිළිබඳ මානසික ව්‍යාකූලතාවයක් වන body dysmorphia වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳ ඇති බවත් අනාවරණය වී තිබෙනවා. Instagramහි ඇති ‘infinite scroll’ වැනි විශේෂාංග හිතාමතා ම පරිශීලකයන් ඇබ්බැහි කරවන අයුරින් නිර්මාණය කර ඇති බව ඇගේ නීතිඥයන් මෙහි දී තර්ක කළ බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් Meta සහ Google සමාගම් සිය අකමැත්ත පළ කර ඇති අතර, ඊට එරෙහි ව අභියාචනා ඉදිරිපත් කරන බව පවසා තිබෙනවා. නව යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික සෞඛ්‍යය ඉතා සංකීර්ණ විෂයයක් වන බැවින් එය එක් යෙදුමක් මත පමණක් පදනම් වූවක් නො වන බව Meta සමාගමේ ස්ථාවරයයි. Google සමාගම ප්‍රකාශ කළේ YouTube යනු වගකීම් සහගත ව ගොඩනගන ලද වීඩියෝ ප්‍රවාහන සේවාවක් මිස සමාජ මාධ්‍ය අඩවියක් නො වන බවයි.

මෙම නඩු තීන්දුව, ඇමරිකානු අධිකරණ පද්ධතිය තුළ විභාග වෙමින් පවතින මෙවැනි ම ආකාරයේ තවත් සිය ගණනක් නඩුවලට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැ යි විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. සමාජ මාධ්‍ය සමාගම් සහ මහජනයා අතර පවතින සබඳතාවයේ ‘බිඳ වැටීමේ ලක්ෂ්‍යයක්’ ලෙස මෙම තීන්දුව හඳුනාගත හැකි බව පර්යේෂණ අධ්‍යක්ෂ මයික් ප්‍රවුල්ක්ස් පවසනවා.

මේ අතර, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල් ද දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට හෝ තහනම් කිරීමට විවිධ නියමු ව්‍යාපෘති සහ නීති රීති මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙම තීන්දුවත් සමඟ ලොව පුරා සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳ කතාබහ යළිත් උණුසුම් වී තිබෙන බව දැකගත හැකියි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications