අද යුරෝපයට පූර්ණ සූර්යග්‍රහණයක්

අද (12), ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේදී රාත්‍රියක අත්දැකීමක් ලබා දෙමින් පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිතයි. ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල් හරහා වැටෙන පටු තීරයකට මෙම අසිරිමත් සංසිද්ධිය දැකගැනීමේ දුර්ලභ අවස්ථාව හිමිවන අතර එය ශ්‍රී ලංකාවට එය දිස් වන්නේ නැහැ.

පූර්ණ සූර්යග්‍රහණයක් යනු සඳ විසින් සූර්යයා සම්පූර්ණයෙන් ම ආවරණය කිරීමයි. මේ අවස්ථාවේ දී අහස තදින් අඳුරු වන අතර, උෂ්ණත්වය ද පහත වැටෙයි. සූර්යයාගේ පිටත වායුගෝලය වන ‘කොරෝනාව’ (corona) සඳුගේ අඳුරු සෙවනැල්ල වටා දිලිසෙන අයුරු නිරීක්ෂණය කිරීමට ද මෙමගින් අවස්ථාව හිමිවනවා.

ග්‍රීන්ලන්තයේ Scoresby Sund ප්‍රදේශයට එරට වේලාවෙන් පස්වරු 4:35 ට පමණ පූර්ණ ග්‍රහණය ආරම්භ වන අතර, එය විනාඩියයි තත්පර 46 ක කාලයක් පවතිනවා. අයිස්ලන්තයේ අගනුවර වන රෙයික්ජාවික් වෙත පස්වරු 5:48 ට පමණ ග්‍රහණය දර්ශනය වීම ආරම්භ වන අතර, එහි පූර්ණත්වය විනාඩියයි තත්පර 1 ක කාලයක් පවතිනු ඇති. ස්පාඤ්ඤයේ ගිජෝන් (Gijón) නගරයට පස්වරු 8:26 ටත්, බර්ගෝස් (Burgos) නගරයට පස්වරු 8:28 ටත් සූර්යග්‍රහණය දර්ශනය වීමට නියමිතයි.

මෙම පූර්ණ ග්‍රහණ කලාපයෙන් පිටත සිටින යුරෝපයේ මිලියන ගණනක් ජනතාවට අර්ධ සූර්යග්‍රහණයක් දැකගැනීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් (Madrid) නුවරට සූර්යයාගෙන් 99.96% ක් ද, ප්‍රංශයේ පැරිසියට 92% ක් ද, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට 91% ක් ද, ජර්මනියේ බර්ලින් (Berlin) නුවරට 84% ක් ද ආවරණය වූ අර්ධ සූර්යග්‍රහණයක් දර්ශනය වනවා.

සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දී ප්‍රමිතිගත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි භාවිත කරන ලෙසත්, දුරේක්ෂ සහ දුරදක්න යොදාගෙන කරන නිරීක්ෂණවල දී සූර්ය පෙරහන් සහිත උපකරණ භාවිත කරන ලෙසත් එරට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට දර්ශනය වන මීළඟ සූර්යග්‍රහණය සිදුවන්නේ 2027 අගෝස්තු 02 දිනයි. එය අර්ධ සූර්යග්‍රහණයක් වන අතර, 2028 ජූලි 22 දා නැවතත් අර්ධ සූර්යග්‍රහණයක් දිස් වීමට නියමිතයි.

Related posts

බ්‍රිතාන්‍යයේ අනර්ඝතම පොසිල එකතුවක් විදේශයකට අලෙවි කෙරේ

ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධියෙන් වයිරසයක් නිපදවයි

සූර්යයාගේ මතුපිට දැක්වෙන මෙතෙක් ලබාගත් සුපැහැදිලි ම ඡායාරූප නිකුත් වෙයි