Home Science News ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධියෙන් වයිරසයක් නිපදවයි

ප්‍රථම වතාවට කෘත්‍රිම බුද්ධියෙන් වයිරසයක් නිපදවයි

by Sathya

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලෝකයේ ප්‍රථම වතාවට නව වෛරසයක් සැලසුම් කර නිපදවීමට විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබෙනවා. වෛද්‍ය විද්‍යාව තුළ නව ඖෂධ සොයාගැනීම් සඳහා මෙය විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන නමුත්, මෙම තාක්ෂණය ආරක්ෂිත ව භාවිත කිරීම සහ එහි අනාගත අවදානම් පිළිබඳව බියක් ද මේ හරහා වෛද්‍ය ප්‍රජාව තුළ මතු වී තිබෙනවා.

මේ වෛරසය නිර්මාණය කරනු ලැබ තිබෙන්නේ කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරුවරයෙකු වන වෛද්‍ය බ්‍රයන් හී ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින්. ඔවුන් මෙලෙස නිපදවා ඇත්තේ බැක්ටීරියා පමණක් ආසාදනය කරන ‘බැක්ටීරියෝෆේජ්’ (bacteriophages) නමින් හැඳින්වෙන වෛරස විශේෂයක්. සාමාන්‍යයෙන් මෙම වෛරස වර්ගය දීර්ඝකාලීන ආසාදනවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා භාවිත කෙරෙනවා. විද්‍යාගාර පරීක්ෂණවල දී, කෘත්‍රිම බුද්ධිය මඟින් නිපදවූ මෙම වෛරස සංයෝගය හරහා ස්වභාවික වෛරසවලට දැඩි ප්‍රතිරෝධයක් දැක්වූ E. coli බැක්ටීරියාව සාර්ථකව විනාශ කිරීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.

මෙම නව වෛරසයේ ගෙනෝම සැලසුම් කිරීම සඳහා පර්යේෂකයින් විසින් ‘Evo1’ සහ ‘Evo2’ නමින් හැඳින්වෙන AI ආකෘති භාවිත කර තිබෙනවා. මිලියන දෙකකට අධික බැක්ටීරියෝෆේජ් ජාන දත්ත යොදාගනිමින් මෙම කෘත්‍රිම බුද්ධි ආකෘති පුහුණු කර ඇති අතර, අනතුරුදායක වෛරස නිර්මාණය වීමේ අවදානම අවම කිරීම සඳහා මිනිසුන්ට, සතුන්ට හෝ ශාකවලට බලපාන වෛරසවල ජානමය කේත ඒ සඳහා ඇතුළත් කිරීමෙන් පර්යේෂකයින් හිතාමතාම වැළකී සිට තිබෙන බව සඳහන්. කෘත්‍රිම බුද්ධිය මඟින් ජනනය කරන ලද දහස් ගණනක් වූ විභව ගෙනෝම අතුරින් 300ක් පමණ විද්‍යාගාරය තුළ නිර්මාණය කිරීමට පර්යේෂකයින් තෝරාගෙන ඇති අතර ඉන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇත්තේ වෛරස 16ක් පමණයි.

Science ජර්නලයේ පළ කර ඇති මෙම පර්යේෂණ වාර්තාවට අනුව, වේගයෙන් ගෙනෝම සැලසුම් කිරීමේ හැකියාව හරහා වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ ජෛව තාක්ෂණික ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කළ හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටොම් ඉන්ග්ල්ස්බි සහ වෛද්‍ය මොරිට්ස් හෑන්ක් පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණය අනාගතයේ දී ඉතා භයානක ව්‍යාධිජනක නිර්මාණය කිරීමට යොදාගත හැකි බවයි. කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් වෛරස නිර්මාණය කිරීමේ හැකියාව දැන් පවතින නමුත්, එය ආරක්ෂිත ව මෙහෙයවීම සඳහා වන නියාමන හෝ පාලන ක්‍රමවේදයන් තවමත් ලෝකය තුළ ස්ථාපිත වී නොමැති වීම මෙම අවදානම තවදුරටත් තීව්‍ර ලෙස ඉස්මතු කරනවා.

ලන්ඩන් ඉම්පීරියල් කොලේජ්හි මහාචාර්ය ටොම් එලිස් ප්‍රකාශ කරන්නේ මෙය ඉතා ආකර්ෂණීය සොයාගැනීමක් වුව ද, වඩාත් සංකීර්ණ ගෙනෝම නිර්මාණය කිරීම AI සඳහා තවමත් අසීරු කාර්යයක් බවයි. එසේ ම, අනතුරුදායක DNA නිෂ්පාදනය කිරීමේ දී දැඩි නියාමනයක් සහ පාලනයක් පැවතීම අත්‍යවශ්‍ය බව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි ආචාර්ය ෆිලිපා ලෙන්ට්සෝස් ද අවධාරණය කරනවා. මේ අනුව, කෘත්‍රිම බුද්ධියේ මෙම නවතම මැදිහත්වීම ඖෂධ නිෂ්පාදනයේ ඉදිරි ගමනට විශාල රුකුලක් වන අතර ම, ජෛව ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ කඩිනම් නියාමනයන්ගේ අවශ්‍යතාව ද දැඩි ව ඉස්මතු කරනවා.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications