Home Science News ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති

ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති

by Sathya

NASA ආයතනයේ සහාය ලබන ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය යොදාගනිමින් ප්‍රෝටීන් බහුල බිස්කට් නිපදවීමේ නව තාක්ෂණයක් සොයාගෙන තිබෙනවා. අනාගතයේ දී පෘථිවිය, සඳ හෝ අඟහරු මත සිටින මිනිසුන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට මෙය මහත් පිටිවහලක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

ඇමරිකානු රසායනික විද්‍යා සංගමය (ACS) විසින් 2026 සැප්තැම්බර් 13 වන දින නිකුත් කළ වාර්තාවකට අනුව, ඇමරිකාවේ සදර්න් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ළහිරු ජයකොඩි සහ පශ්චාත් උපාධි ශිෂ්‍යා සන්ධ්‍යා ජයසේකර විසින් මෙම අපූරු සොයාගැනීම සිදුකර තිබෙනවා. ඔවුන් විශේෂයෙන් ඉංජිනේරුකරණය කරන ලද යීස්ට් භාවිත කරමින් බීම බෝතල් සඳහා යොදාගන්නා PET ප්ලාස්ටික් සහ ඉවතලන බඩඉරිඟු ගස් වැනි කෘෂිකාර්මික අපද්‍රව්‍ය, ආහාරයට ගත හැකි ප්‍රෝටීන, විටමින් සහ රසකාරක බවට පරිවර්තනය කිරීමට සමත් වී තිබෙනවා.

මෙලෙස නිපදවා ගන්නා අමුද්‍රව්‍ය තන්තු, පිෂ්ඨය සහ පැණිරසකාරක සමඟ මිශ්‍ර කර ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඔස්සේ “µBites” (මයික්‍රෝබයිට්ස්) නමින් හැඳින්වෙන ප්‍රෝටීන් බහුල මෙම කුකීස් විශේෂය නිර්මාණය කර තිබෙනවා.

මෙම ක්‍රියාවලියේ දී පළමු ව ප්ලාස්ටික් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය, “ඔක්සිකාරක ජලතාපක ද්‍රාවණය” (oxidative hydrothermal dissolution) නමැති විශේෂිත ක්‍රමවේදයක් හරහා කුඩා සංයෝග බවට බිඳ හෙලනු ලබනවා. ඉහළ උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ජලය සහ ඔක්සිජන් භාවිත කරමින් මෙය සිදුකරන බවයි පර්යේෂකයන් පවසන්නේ. ඉන්පසු ව මෙම කුඩා අණු, විශේෂිත යීස්ට්වලට ලබා දෙන අතර, එම ක්ෂුද්‍ර ජීවීන් විසින් ඒවා ප්‍රෝටීන, මේදය සහ අනෙකුත් ආහාර සංරචක බවට පරිවර්තනය කරනු ලබනවා. පර්යේෂකයින් පවසන පරිදි මෙම යීස්ට් මඟින් වැනිලා රසකාරකය සහ මිනිස් සිරුරේ දී විටමින් A බවට පත්වන බීටා කැරොටින් පවා නිපදවිය හැකියි.

නාසා ආයතනයේ ‘Deep Space Food Challenge’ වැඩසටහනේ අනුග්‍රහය යටතේ සිදුකරන ලද මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණක් වන්නේ, පෘථිවියෙන් ආහාර සැපයුම් ලබාගත නො හැකි දිගුකාලීන අභ්‍යවකාශ චාරිකාවල යෙදෙන ගගනගාමීන්ට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමයි. ඊට අමතර ව, ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටලු දෙකක් වන ප්ලාස්ටික් දූෂණය සහ ආහාර අර්බුදය සඳහා ද මෙය කදිම විසඳුමක් වනු ඇතැ යි පර්යේෂණය මෙහෙයවූ මහාචාර්ය ළහිරු ජයකොඩි පෙන්වා දෙනවා.

දැනට පවතින දත්තවලට අනුව මෙම µBites කුකීස් ආහාරයට ගැනීම සුරක්ෂිත බව තහවුරු වී ඇති අතර, නිල රස බැලීමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබාගැනීමට පර්යේෂකයන් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරි වසර කිහිපය තුළ මෙය මහජන පරිභෝජනය සඳහා ද සූදානම් කළ හැකි බවත්, විශේෂයෙන් ම ස්වභාවික විපත් ඇති වූ ප්‍රදේශවලට සහ සබ්මැරීන වැනි ආහාර සැපයීම දුෂ්කර ස්ථාන සඳහා මෙය අතිශයින් වැදගත් වනු ඇති බවත් ඔවුන්ගේ විශ්වාසයයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications