එක්සත් රාජධානියේ අපරාධ පරීක්ෂණ සඳහා සුනඛ DNA දත්ත ගබඩාවක්

අපරාධ විසඳීම සහ පොලිස් පරීක්ෂණ සඳහා සහාය වීමේ අරමුණින් එක්සත් රාජධානියේ නවතම සුනඛ DNA දත්ත ගබඩාවක් නිර්මාණය කර තිබෙනවා. අපරාධ ස්ථානවලින් සොයා ගන්නා සුනඛ රෝම, ඛේටය වැනි සාම්පල භාවිතයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීමට මෙන් ම අහිංසක සැකකරුවන් නිදොස් කිරීමට මෙය වැදගත් සාක්ෂියක් සපයනු ඇතැ යි විශේෂඥයන් විශ්වාස කරනවා. මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙන්නේ ලන්ඩනයේ කිංග්ස් කොලේජිය සහ රාජකීය පශු වෛද්‍ය විද්‍යාලයයි. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ඩෙනිස් සින්ඩර්කොම්බ් කෝට් පෙන්වා දෙන්නේ, මිනිසුන් බොහෝ විට සුනඛයන් සමඟ ජීවත් වන බැවින් මිනිසුන්ට සම්බන්ධ අපරාධයක දී වෙනත් සාක්ෂි නොමැති විට සුනඛ DNA ඉතා ප්‍රබල සාක්ෂියක් විය හැකි බවයි.

අපරාධ ස්ථානයකින් ලැබෙන ඉතා කුඩා DNA සාම්පලයක් වුව ද ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි, මිනිස් DNA පරීක්ෂාවේ දී මෙන් ‘කෙටි අනුක්‍රමික පුනරාවර්තන’ (short tandem repeats – STRs) නමින් හැඳින්වෙන තාක්ෂණයක් මෙහි දී භාවිත කෙරෙනවා. මේ හරහා එක්සත් රාජධානියේ ප්‍රථම වරට සුනඛ වර්ග 80ක් පමණ ආවරණය වන පරිදි මෙම දත්ත ගබඩාව නිර්මාණය කර ඇති අතර, මෙහි දී බහුල ව දක්නට ලැබෙන සුනඛ වර්ග 10ක් සඳහා එක් වර්ගයකින් අවම වශයෙන් සුනඛයන් 50 දෙනෙකුගේවත් සාම්පල ලබාගෙන තිබෙනවා. මීට අමතර ව, ඉතා කුඩා සාම්පල පමණක් ඇති අවස්ථාවල දී මයිටොකොන්ඩ්‍රියා DNA පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් විසින් හඳුන්වා දී තිබෙනවා. ඉදිරියේ දී එක්සත් රාජධානියේ තහනම් කර ඇති සුනඛ වර්ග වන පිට්බුල් ටෙරියර්, ඇමරිකන් එක්ස්එල් බුලීස් සහ ජැපනීස් ටෝසා වැනි සුනඛ වර්ග ද මෙම දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

මෙම දත්ත ගබඩාව මේ වන විටත් ප්‍රායෝගික පොලිස් පරීක්ෂණ සඳහා සාර්ථකව දායක කර‌ගෙන ඇති බව වාර්තා වනවා. බැටළුවන්ට පහර දීමේ සිද්ධියක දී, අපරාධ ස්ථානයෙන් ලබාගත් DNA පරීක්ෂා කිරීම මඟින් සැකකළ පුද්ගලයාගේ සුනඛයන් නිදොස් කිරීමට හැකි වූ අතර, පහරදීම සිදුකළ සැබෑ සුනඛ වර්ගය හඳුනා ගැනීමටත් එමඟින් හැකියාව ලැබී තිබුණා. තවත් අවස්ථාවක දී පුද්ගලයෙකුට සිදු වූ බරපතළ තුවාල වෙනත් පුද්ගලයෙකුගෙන් නොව ඔහුගේ ම සුනඛයන්ගෙන් සිදුවූවක් බව තහවුරු කිරීමට ද මෙම තාක්ෂණය උපකාරී වී තිබුණා. ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය නිකලස් ඩෝනි ප්‍රකාශ කරන්නේ අපරාධ ස්ථානවලින් ලබාගන්නා සුනඛ DNA භාවිත කිරීම පිළිබඳව කෙරෙන මෙම පර්යේෂණය ඉතා වැදගත් බවයි. කෙසේ වෙතත්, පොලිස් අයවැය සීමා වී ඇති බැවින් ඵලදායී මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවුවහොත් මෙම පර්යේෂණයේ ප්‍රතිලාභ නිසි පරිදි ලබා ගැනීමට අභියෝගයක් වනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

Related posts

ඇමරිකාවේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙදෙනෙක් ප්ලාස්ටික්වලින් බිස්කට් තනති

එල් නිනෝ නිසා ඉදිරි මාස හය තුළ ගෝලීය මරණ 450,000ක්

බ්‍රිතාන්‍යයෙන් ස්වභාව සංරක්ෂණයට ජාන සංස්කරණය කළ සමනලුන්