න්‍යෂ්ටික යුද්ධ සහ කෘත්‍රිම බුද්ධියේ අනිසි භාවිතය නිසා 2100 වන විට මානව වර්ගයා නෂ්ට වීමට ඉඩ ඇති බවට අනතුරු ඇඟවීමක්

කෘත්‍රිම බුද්ධිය (AI) අනිසි ලෙස භාවිත කිරීම සහ න්‍යෂ්ටික ගැටුම් හේතුවෙන් 2100 වසර වන විට මානව වර්ගයා වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දිය හැකි බවට නවතම ගෝලීය අවදානම් තක්සේරුවක් මගින් අනතුරු අඟවා තිබෙනවා.

21 වන සියවසේ සෞඛ්‍යයට එල්ල වන ගෝලීය තර්ජන පිළිබඳ ‘ලැන්සෙට් කොමිසම’ (The Lancet Commission) විසින් ඉදිරි වසර 75 තුළ මානව සෞඛ්‍යයට එල්ල විය හැකි ප්‍රධාන විනාශකාරී තර්ජන 17 ක් හඳුනාගෙන ඇති අතර, න්‍යෂ්ටික යුද්ධය සහ කෘත්‍රිම බුද්ධියේ අවදානම එම ලැයිස්තුවේ ඉහළින් ම සඳහන් වී තිබෙනවා. මෙම තර්ජන ලැයිස්තුවට දේශගුණික අර්බුදය, ළමා මන්දපෝෂණය සහ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කප්පාදු කිරීම වැනි කරුණු ද ඇතුළත් වනවා.

මෙම වාර්තාව පෙන්වා දෙන්නේ න්‍යෂ්ටික ගැටුමක දී වායුගෝලයේ ඉහළ ස්ථරයට අංශු නිකුත් වීමෙන් සූර්යාලෝකය අවහිර වී ගෝලීය න්‍යෂ්ටික සාගතයක් ඇතිවිය හැකි අතර, කෘත්‍රිම බුද්ධිය මඟින් ජෛව අවි නිර්මාණය කිරීමේ දැඩි අවදානමක් ද පවතින බවයි. මෙම තර්ජන සිදුවීමේ සම්භාවිතාව දැනට අඩු මට්ටමක පැවතුණ ද, ඒවා යම් හෙයකින් යථාර්ථයක් බවට පත් වුවහොත් මානව වර්ගයා සම්පූර්ණයෙන් ම විනාශ වී යා හැකි බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

මීට අමතර ව වායු දූෂණය, ක්ෂුද්‍රජීවී නාශක ඖෂධ කෙරෙහි ඇති ප්‍රතිරෝධය (antimicrobial resistance), ගෝලීය උණුසුම ඉහළ යාම, තරබාරුකම, දුර්වල මානසික සෞඛ්‍යය, දුම්පානය සහ ආදායම් අසමානතාවය වැනි කරුණු ද බරපතල තර්ජන ලෙස නම් කර තිබෙනවා. අඩු ආදායම්ලාභී රටවලට මන්දපෝෂණය සහ අඩු අධ්‍යාපනික මට්ටම් දැඩි ලෙස බලපාන අතර, ඉහළ ආදායම්ලාභී රටවලට තරබාරුකම සහ මානසික සෞඛ්‍ය ගැටලු ප්‍රධාන තර්ජනයක් වන බව ද එය පෙන්වා දෙනවා.

මෙම කොමිසමේ සම සභාපති මෙන් ම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ක්‍රිස්ටෝපර් මරේ ප්‍රකාශ කරන්නේ වර්තමාන නායකයින් ගන්නා තීරණ මත මීළඟ පරම්පරාවේ සෞඛ්‍යය සහ යහපැවැත්ම තීරණය වනු ඇති බවයි.

මෙම අර්බුද පිළිබඳව හුදෙක් බියපත් වීම වෙනුවට, අදාළ සෑම තර්ජනයකට ම මුහුණ දීම සඳහා ගත හැකි ප්‍රායෝගික සහ යථාර්ථවාදී ක්‍රියාමාර්ග පවතින බව ද මෙම කොමිසම අවධාරණය කරනවා. අර්බුද උග්‍ර වීමට පෙර එම අවදානම් පාලනය කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදනයන් සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට ආයෝජනය කරන ලෙස පර්යේෂකයින් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂඥයින් 35 දෙනෙකුගෙන් යුත් මෙම කොමිසමේ සොයාගැනීම් ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුවේ දී ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

මිනිසා සඳට ගෙනයාමට මෘදුකාංග තැනූ මාග්‍රට් හැමිල්ටන් අභාවප්‍රාප්ත වෙයි

2026 රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ

2026 භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රකාශයට පත් කෙරේ