Home Science News සෙලීන් ඩියෝන් පෙළෙන දුර්ලභ ස්නායු රෝගයට නව ප්‍රතිකර්මයක් සොයාගැනේ

සෙලීන් ඩියෝන් පෙළෙන දුර්ලභ ස්නායු රෝගයට නව ප්‍රතිකර්මයක් සොයාගැනේ

by Sathya

ලෝක ජනාදරයට පත් ගායිකා සෙලීන් ඩියෝන් ද ගොදුරු ව සිටින ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝමය (Stiff Person Syndrome) නමැති ස්නායු ආබාධය සඳහා සාර්ථක නව ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට ඇමෙරිකාවේ මේයෝ ක්ලිනික් හි වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සමත් ව තිබෙනවා. මෙම නව සොයාගැනීම මඟින් අදාළ රෝගී තත්ත්වයෙන් පෙළෙන පිරිස් වෙත නව බලාපොරොත්තුවක් දැල්වෙනවා.

මධ්‍යම ස්නායු පද්ධතියට හානි පමුණුවමින් මුළු සිරුර ම තද වීමට සහ දැඩි වේදනාකාරී ලෙස පේශි වෙව්ලීමට ලක්කරන මෙම අක්‍රමිකතාව සඳහා මෙතෙක් ස්ථිර ඖෂධයක් සොයාගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත්, ප්‍රතිශක්තිකරණ සෛල වෙනස් කරමින් සිදුකරන “CAR-T” (CAR-T cell therapy) නමැති ප්‍රතිකාර ක්‍රමය මඟින් මෙම රෝගීන්ගේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වයේ කැපී පෙනෙන අතිශය සාර්ථක ප්‍රගතියක් සටහන් වී ඇති බව Jama Neurology වෛද්‍ය ජර්නලයේ පළවූ නවතම පර්යේෂණ වාර්තාවල දැක්වෙනවා.

පිළිකා රෝගීන් සඳහා භාවිත කරනු ලබන මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී රෝගියාගේ ම T-සෛල ලබාගෙන, රෝගය ඇතිකිරීමට බලපාන සෛල විනාශ වන පරිදි ඒවා නැවත සකස් කර සිරුරට ඇතුළු කරනු ලබනවා. මෙම පරීක්ෂණාත්මක ප්‍රතිකාරයට ලක්වූ , වෙනත් අයගේ සහාය නොමැති ව ඇවිදීමට හෝ එදිනෙදා වැඩකටයුතු කරගැනීමට පවා නො හැකි ව සිටි රෝගීන් රැසක් මේ වන විට නැවතත් සාමාන්‍ය පරිදි තම රැකියාවන් සහ විනෝදාංශයන්හි නිරත වීමට තරම් සුවය ලබා තිබෙනවා.

ජනකාන්ත ගායිකා සෙලීන් ඩියෝන් 2022 වසරේ දී තමන් ද මෙම රෝගයට ගොදුරු ව ඇති බව ප්‍රකාශ කළ අතර, එය තමන්ගේ ගායන හැකියාව ඇතුළු එදිනෙදා ජීවිතයේ සෑම කටයුත්තකට ම දැඩි බලපෑමක් එල්ල කළ බව ඇය සටහන් කර තිබුණා. වෛද්‍යවරුන් පවසන්නේ මෙම නව ප්‍රතිකාරය හරහා ලබාගෙන ඇති සාර්ථකත්වය, ස්නායු ආශ්‍රිත සෙසු ප්‍රතිශක්තිකරණ රෝග සඳහා ද ඉදිරියේ දී විසඳුම් සෙවීමට මඟ පාදනු ඇති බවයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications