Home Science News ESCAPADE නිවුන් යානා පෘථිවි ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් අඟහරු ගමන අරඹයි

ESCAPADE නිවුන් යානා පෘථිවි ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් අඟහරු ගමන අරඹයි

by Sathya

NASA ආයතනය විසින් අඟහරු ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රය සහ වායුගෝලය අධ්‍යයනය කිරීම සඳහා යවන ලද ESCAPADE (Escape and Plasma Acceleration and Dynamics Explorers) නිවුන් අභ්‍යවකාශ යානා ද්විත්වය, පෘථිවි ගුරුත්වාකර්ෂණය සාර්ථක ව භාවිත කරමින් අඟහරු වෙත ගමන් කිරීමට අවශ්‍ය වේගවත් තල්ලුව ලබාගෙන තිබෙනවා. NASA අභ්‍යවකාශ මෙහෙයුම් ඉතිහාසයේ මෙම විශේෂිත ගුරුත්වාකර්ෂණ බලපෑම් ක්‍රමවේදය (Powered Earth flyby) අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වනවා.

සාමාන්‍යයෙන් අඟහරු වෙත යානා යැවීමේ දී පෘථිවිය සහ අඟහරු අතර ඇති වන කක්ෂීය පෙළගැස්ම මත පදනම් ව මාස 26කට වරක් උදාවන කෙටි කාලරාමුව භාවිත කරනු ලැබෙනවා. කෙසේ වෙතත්, 2025 නොවැම්බර් මාසයේ දී Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව මගින් අභ්‍යවකාශගත කෙරුණු මෙම යානාවලට සෘජු ව ම අඟහරු වෙත ගමන් කිරීමට නො හැකි වූ අතර, පෘථිවිය වටා විශේෂිත කක්ෂයක රැඳී සිටීමට සැලසුම් කරනු ලැබුණා.

පසුගිය නොවැම්බර් 7 සහ 9 යන දිනවල මෙම යානා දෙක පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන අතරතුර තම එන්ජින් ක්‍රියාත්මක කරමින්, පෘථිවි ගුරුත්වාකර්ෂණයේ සහායෙන් අඟහරු දෙසට වේගවත් ගමන් පථයකට සාර්ථක ව අවතීර්ණ වුණා. මීට අමතර ව, මෙම දීර්ඝ ගමන් මාර්ගයේ දී පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ දුරස්ථ කොටස් පිළිබඳව මීට පෙර ලබාගෙන නොමැති අතිශය වැදගත් විද්‍යාත්මක දත්ත රැසක් ද ලබාගැනීමට මෙම යානා සමත් වී තිබුණා.

සැලසුම් කර ඇති පරිදි ESCAPADE නිවුන් යානා 2027 සැප්තැම්බර් මාසයේ දී අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට නියමිතයි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications