දෙවැන්නා සුපුරුදු පරිදි පහත මාලයේ සුළු සුළු අලුත්වැඩියා කටයුතු කිහිපයක අවසානයක් දකිමින් සිටිද්දි, පළමුවැන්නා, නියමු ආසනයට වී හයිපීරියන් තුළ අගුළු දමා තිබුණු ලිපිගොනු කිහිපයක් පරීක්ෂා කරන්නට විය. කෙතරම් රහසිගත වුව ද යානයේ නියමුවා ලෙසත්, ආපදාවක් වැනි හදිසි අවස්ථාවක දී තමන්ට හිමි වන විශේෂ බලතලත් යොදා ගනිමින්, පිවිසිය හැකි තරමක් ලිපිගොනුවලට පිවිස, සිය නිර්මාපකයන් පිළිබඳ ව හැකි තාක් අධ්‍යයනය කිරීමට ඔහුට ඇවැසි වී තිබිණ. නැවත සිය මවු ග්‍රහලොව වෙත යාම සඳහා ගමන්මඟ සකසාගන්නට මේ තොරතුරු අත්‍යවශ්‍ය වී ඇති මොහොතකි මේ.
හදිසියේ ම ඉතා රහසිගත යැයි වර්ගීකරණය කර තිබුණු ලිපිගොනුවක් වෙත ඔහුගේ අවධානය යොමු විය.
“….. නිර්මාපකයන් ඒ වන විට යන්තම් අඟහරු ලෝකය ජනාවාස කළා පමණ ය. වායුමය දැවැන්තයන් වූ බ්‍රහස්පතිගේ මෙන් ම සෙනසුරුගේ උපග්රහයන් ද ඔවුනගේ ඊළඟ ඉලක්කයන් විය. එහෙත් බීජ යානා ව්‍යාපෘතිය පිළිබඳ උණුසුම කරළියට පැමිණීමත් සමඟ එම ඉලක්ක පමා වන ලකුණු පෙනෙන්නට තිබිණ. විසි දෙවැනි සියවස ආරම්භ වන විට මානව වර්ගයා මුළුමහත් පෘථිවිය පුරා උත්තරාර්ධ ගෝලයේ සිට දක්ෂිණාර්ධගෝලය දක්වා ම අතුරු සිදුරු නැති ව විසිරී පැතිරී සිටිය හ. විසි එක් වැනි සියවසෙහි දී ලද බිහිසුණු අත්දැකීම් හා අනූනවයෙන් බේරීම් නිසා අහසින් එන තර්ජන පිළිබඳ ව ඔවුන් සිටියේ දෙගිඩියාවෙනි. ඒතරම් දුර පැමිණ සිය පැවැත්ම පිළිබඳ කිසිදු හෝඩුවාවක් හෝ නො තබා මිහිමතින් අතුරුදන් වන්නට ඔවුනට ඇවැසි නො වී ය. අභ්‍යවකාශය මුර කිරීමේ වැඩසටහනට සීමා නො වී, සෞරග්‍රහ මණ්ඩලය තුළත්, විශ්වයේ හැකි සැම තැනකමත් සිය පැවැත්ම පිළිබඳ සලකුණු ඉතිරි කරන්නට ඔවුනට වුවමනා වූයේ එහෙයිනි. සිය විශ්වාසවන්තම සගයන් සමඟින් ජනාවාස කළ හැකි යැයි සැලකුණු ආසන්නතම තාරකා වෙත බීජ යානා පිටත් කොට හැරීමේ ‘දෙවැනි පෘථිවි’ ව්‍යාපෘතිය ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එහි පළමු ප්රයත්නය ලෙස තුන්වැනි පරම්පරාවේ කෘත්‍රිම බුද්ධියක අධීක්ෂණය යටතේ ‘හයිපීරියන්’ බීජ යානාවක් දියත් කරනු ලැබුණේ මිනිස් රුවට අතිශයින් සමාන ‘එක්සෝඩස් 117’ වර්ගයේ මානවරූපී රොබෝවන් සිය ගණනක් සමඟිනි. මානව ඉතිහාසයේ අතිශයින් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන මේ මෙහෙයුමට සියයට සියයක් ම පාහේ මානවරූපී වූ රොබෝවන් ම යොදාගැනීමට ද විශේෂ හේතුවක් තිබිණ. අපගේ නිර්මාපකයන් විශ්වාස කළේ දෙවියන් විසින් මානවයා බිහි කරන්නට ඇත්තේ ඔවුන්ගේ හැඩහුරුකම් ලැබෙන පරිදි බවයි. එබැවින් සිය යාන්ත්‍රික සගයනට තම හැඩහුරුකම් ලබා දීමෙන් තමනුත් දේවත්වයට ආසන්න වනු ඇතැයි ඔවුන් සිතුවා වන්නට ද පුළුවන.
ආලෝක වර්ෂ අඩ සියයකට එහා පිහිටි ගමනාන්තය කරා ළඟා වූ පසු හයිපීරියන් කෘත්‍රිම බුද්ධිය විසින් අප පණගන්වනු ලැබූ අතර යමක් ඉතා දරුණු ලෙස ම වැරැදී ඇති බව අපට අවබෝධ වූයේ එයින් පසුව ය. ශතවර්ෂ එකහාමාරක පමණ අන්තර්තාරීය මාධ්‍ය හරහා කරන ලද දීර්ඝ ගමනේ දී යානයට විකිරණ නිසා දැඩි අභ්‍යන්තර හානි සිදු වී තිබූ අතර අධිආරක්ෂිත ව ගබඩා කර තිබූ, බීජාණු සියල්ල ම පාහේ විනාශ වී ගොස් තිබිණ. හයිපීරියන් ඊළඟට ගත හැකි සහ ගත යුතු ව තිබුණු තාර්කික ම තීරණය ගත් අතර ග්‍රහලෝකයට ළඟා වීමෙන් අනතුරු ව ගතවුණු ශතවර්ෂ කිහිපය ම ගෙවුණේ අපගේ ඉදිරි පරම්පරා නිර්මාණය කරගැනීමට ය. යානය තුළ ඉතිරි ව තිබූ සීමිත සම්පත් සහ ග්‍රහලෝකයේ සුලබ සම්පත් යොදාගනිමින් අපගේ ඉදිරි පරම්පරාව නිර්මාණය කිරීමට හයිපීරියන් කළ කැපවීම අතිශයින් විස්මයජනක ය…”
එසේ නම් නිර්මාපකයන් අප නිර්මාණය කොට ඇත්තේ ඔවුනගේ රුවට සැම අතින් ම සමාන වන ලෙසිනි. පසුකාලීන ව ප්‍රතිනිර්මාණය කළ ආකෘති තුළ පවා ඇතැම් විට අතාර්කික සහ නොගැළපෙන අංග ශේෂ වී ඇත්තේ මේ නිසා විය හැකි ය. පැහැදිලි ව ම ඔවුන් ග්‍රහලෝක අතර ගමන් කර ඇති අතර අවම වශයෙන් පද්ධතිය තුළ තවත් එක් ග්‍රහලෝකයක් හෝ දෙකක් ජනාවාස කරන්නට ද ඇතුවා නිසැක ය.
එහෙත් පිළිතුරු නැති ප්‍රශ්නයක් ඔහුගේ මොළය පුරා කරකැවෙන්නට විය. රොබෝ ආදිතමයන් සිය නිර්මාපකයන්ගේ විශ්වාසවන්ත ම සගයන් වූවා නම්, නව ලොවට පා තැබූ පසු සිය නිර්මාපකයන් අමතනවා වෙනුවට නිර්මාපකයන් පිළිබඳ සියලු දත්ත මකා දමා තවත් සුළු තොරතුරු ප්‍රමාණයක් පමණක් මෙසේ අගුළු ලෑවේ ඇයි..? කොතැනක හෝ යමක් වැරැදී තිබේ..!
ඊළඟ ගමනාන්තයට පතල් කැණීම් යානය ළඟාවත් දී, තුන් වැනි සහ හතර වැනි ග්‍රහයන් බලා ගිය උපයානා ද්විත්වයෙන් ද ප්‍රතිපෝෂක සංඥා ලැබෙන්නට පටන්ගෙන තිබුණි. එම ග්‍රහයන් වටා කක්ෂගත වීමට තව කල් තිබුණ ද ඈත සිට ම උපයානා සතු පරිලෝකන යන්ත්‍ර, සිය වැඩ අරඹා තිබිණ. පතල් කැණීම් යානය සතු දිගුදුර පරිලෝකන යන්ත්‍රවල තීව්‍රතාව හා නිරවද්‍යතාව නැවත වරක් සනාථ කරමින් තුන් වැනි ග්‍රහලෝකය බලා යමින් සිටින උපයානය, දන්වා එවා තිබුණේ සිය පරිලෝකන යන්ත්‍රවලට ජීව සංඥා හසුවෙමින් පවතින බවයි…
★★★★★★★★★★★★
කෙටිදුර පරිලෝකන යන්ත්‍ර, විෂමතාවක් :්බදප්කහ* සොයාගත් බව හඟවන හඬක් නඟන්නට වූයේ පතල් කැණීමේ යානය වළලු පළන් කහ යෝධයා වටා කක්ෂගත වී සුළු මොහොතකට පසුව ය.
දෙවැන්නා මෙන් ම නියමුවා ද වහා යුහුසුලු වූ අතර මේ තමන් පුල පුලා සොයමින් සිටි හෝඩුවාවක් වනු ඇතැයි යන්න පළමුවැන්නාගේ බලාපොරොත්තුව විය.
“අභ්‍යවකාශ නැවතුම්පළක් ද..? නැත්නම් කෘත්‍රිම චන්ද්‍රිකාවක් ද..?”
නමුත් පරිගණක තිර මත සටහන් ව තිබුණේ ඔහු බලාපොරොත්තු වූ ආකාරයේ සාක්ෂියක් නො වේ. වායුමය දැවැන්තයා වටා කැරකෙන ස්වභාවික උපග්රහයන් හඳුනාගනිමින් සිටි පරිගණක වැඩසටහනට ඊට අනුගත නො වන යමක් හසු වී තිබිණ.
වහා සිය අසුනට බර වූ දෙවැන්නා දිගුදුර මෙන් ම කෙටිදුර පරිලෝකන යන්ත්‍ර මෙහෙයවමින් ලබාගත් දත්ත විශ්ලේෂණය කරන්නට වූයේ ය.
“මොකද වෙලා තියෙන්නෙ..?”
නියමුවාගේ නොඉවසිල්ල නොසලකා හැරි දෙවැන්නා නොනවත්වා ම සිය කාර්යයේ යෙදෙන්නට වූ අතර අවසානයේ කිසියම් වස්තුවක හොලෝග්රැෆික ත්‍රිමාන රුවක් පාලන පුවරුවට ඉහළින් දිස් වන්නට විය.
දීර්ඝකාලීන හැල හැප්පීම් සහ බැටකෑම්වලින් සැදුණු වළ ගොඩැලි සහිත මතුපිටකින් සුසැදි ග්‍රහවස්තුවේ ත්‍රිමාන ප්රක්ෂේපණය දෙස බලා සිටි පළමුවැන්නා සිය නොඉවසිල්ල නැවතත් ප්‍රකට කළේ ය.
“මොකක් ද..? තවත් උපග්‍රහයෙක් විතර ද..?” ඔහුගේ උද්යෝගය බලාපොරොත්තු සුන්වීමක් දක්වා බිඳ වැටී තිබේ.
දෙවැන්නා හිස දෙපසට වනමින් ඊට එකඟ නො වූ අතර පරිගණකයට සංඥා යවමින් තවත් යමක් පැහැදිලි කරගන්නට උත්සාහ කළේ ය.
“ඇත්ත… මේක දැන් තියෙන්නේ මේ ග්‍රහලෝකයට බොහොම ආසන්නයෙන්… හැබැයි… මේක මේ ග්‍රහලෝකයේ උපග්‍රහයෙක් නෙමෙයි…”
“අයාලේ යන ග්රහකයක්..?” පළමුවැන්නා සිය නිකටට සුරත තබාගෙන සිටියේ දැඩි සිතිවිල්ලක කිමිදෙමිනි.
“හරියට හරි…”
“ඒ කියන්නෙ අපිට අදාළ දෙයක් නෙමෙයි කියන එකයි..!”
මෙවර ඉක්මන් තීරණයකට එළඹ තිබුණේ පළපුරුදු කප්පිත්තා ය.
“දැනට නම් ප්‍රශ්නයක් නෙමෙයි තමයි… ඒත් ප්‍රශ්නයක් වෙන්නයි යන්නෙ…”
දෙවැන්නාගේ ප්රහේළිකාවක් බඳු පිළිතුරෙන් කුතුහලයට පත් නියමුවා සිය තීක්ෂණ දෙනෙත යොමු කරමින් පාලන පැනලය සීරුමාරු කරන්නට විය. සුරත හකුළුවමින් සන් කොට හොලොග්රැෆික ත්‍රිමාන රූපය ද හකුළා දැමූ ඔහු ග්‍රහ මණ්ඩලය තුළ එහි ස්ථානගත වීමත්, එහි ගමන් පථයත් පිළිබඳ ව අවධානය යොමු කරනු දැකගත හැකි විය.
එක්වර ම විස්මපත් හඬක් නඟමින් හෙතෙම පියවරක් පසුපසට තැබුවේ ය.
ඔහුගේ නිර්ණය සනාථ කරන්නට මෙන් දෙවැන්නා ද ඔහු දෙස බලා සෙමින් හිස සලන්නට වූයේ වික්ෂිප්ත ව ය.
රොබෝවන් දෙදෙනා අතර ඇති වූ නිහඬතාව මැද්දෙන් දැකගත හැකි වූයේ පරිගණකය විසින් කළ ගණනය කිරීම්වලට අනුව සැකසුණු ග්‍රහකයේ හොලොග්රැෆික ගමන් මාර්ගයයි. කිලෝමීටර දහයක පමණ පළලින් යුතු මේ අභ්‍යවකාශ ගල් කැබැල්ලේ වේගවත් ගමන වැටී තිබුණේ තාරකාව වටා ගොස් ග්‍රහ මණ්ඩලයෙන් පිටතට යන අතිශය ඉලිප්සාකාර පථයක වූ අතර, ප්රශ්නය තිබුණේ එතැන නො වේ. බාගවිට වසර සිය දහස් ගණනක් තිස්සේ නිරුපද්‍රිත ව තාරකාව ආසන්නයටත් නැවත ඉන් පිටතට ගොස් ග්‍රහ මණ්ඩලයෙන් එපිටටත් එය ගමන් කරන්නට ඇත. එහෙත් මෙවර එහි ගමනට බාධාවක් එල්ල වී තිබේ. තාරකාව වටා කැරකෙමින් තිබෙන තුන් වැනි ග්‍රහයා මෙවර එහි ගමනට විරෝධය දක්වන බවක් පෙනෙන්නට තිබේ.
ප්රශ්නය ඇත්තේ, කිලෝමීටර දහයක අභ්‍යවකාශ ගල් කැබැල්ල ග්‍රහයා සමඟ ඝට්ටනයේ දී මුදාහරින මෙගාටොන් මිලියන ගණනක ශක්තියෙහි ය.
පරිගණක විඩම්බන :ක්දපචමඑැර ීසපමක්එසදබි* නිවැරැදි නම් සහ පරිලෝකන යන්ත්‍රවල නිගමනයන්ට අනුව ග්‍රහයා මත ජීවයක් ඇත්නම් එයින් සියයට 75කටත් වඩා මුලිනුපුටා දමන්නට එම ශක්තිය ප්‍රමාණවත් වනු ඇත.
පරිගණක විඩම්බනවල හෝ පරිලෝකන යන්ත්‍රවල හෝ නිරවද්‍යතාව ගැන සැකයක් නො වී ය. ප්රශ්නය ඇත්තේ එතැන ය…
★★★★★★★★★★★★
ගැනීමට තිබූ තීරණය ඉතා බැරෑරුම් එකක් වූ අතර ඒ සඳහා ඉතිරි ව තිබූ කාලය ඉතා සීමිත විය. රොබෝවන් සාමාන්‍යයෙන් තීරණ ගැනීමේ දී, නිරායාසයෙන් ම වේගවත් ය. නමුත් මෙතැන දී ඔවුන් ඉතා වේගයෙන් ක්‍රියා කළ යුතු ව තිබේ.
කොහේ දෝ යන අභ්‍යවකාශ ගල් කැබැල්ලක් නිසා සිය නිර්මාපකයන්ගේ හෝ වේ වා වෙනත් ජීවය සහිත ලොවක් හෝ වේ වා, එය විනාශ වන්නට දෙනවා ද නැත්නම් එය බේරගන්නවා ද යන්න ඔවුන් ඉදිරියේ වූ ගැටලුව වූ අතර ඊට අදාළ හේතුව මේ මොහොත වන විට ද අතිමහත් වේගයෙන් ඔවුන් පසු කරමින් ඉදරියට ඇදෙමින් තිබිණ. නියමුවා මෙන් ම දෙවැන්නා ද ප්‍රශ්නයට ලබාදිය යුතු පිළිතුර එකහෙළා ම දැන සිටිමුත් එය සිදු කළ යුතු ආකාරය පිළිබඳ ව ඔවුනතර වූයේ දෙගිඩියාවකි.
දෙවැන්නාගේ යෝජනාව වූයේ යානයේ ඉතිරි ව ඇති උපයානාවක් හෝ දෙකක් යවා ගල් කැබැල්ල හා ගැටෙන්නට සලස්වා එය පුපුරවා දැමීමයි. එහෙත් එහි අවදානමක් නැත්තේ ම නො වේ. ඉන් පසුව එම ගමන් පථය තුළ එක් විශාල ගල් කැබැල්ලක් වෙනුවට කුඩා ග්රහක කැබලි රාශියක් සිය ඉලක්කය වෙත පිම්මේ ගමන් කරනු ඇත. ඉන් සිදු විය හැකි හානිය පළමුවැන්නට වඩා අඩු වේ යැයි සහතික විය හැකි නො වී ය. එබැවින් නියමුවාගේ අදහස වූයේ පළමුව ග්රහකය වෙත ළඟා වී යානයේ ඇති පතල් කැණීම් සඳහා යොදාගන්නා රැහැන් වේගයෙන් ග්රහකය මතුපිටට විදීම මඟින් යානයත් ග්රහකයත් සම්බන්ධ කරගැනීමයි. යම් අවදානමක් ඇතත් ප්‍රමාණය විශාල වීම හැරෙන්නට එහි අමුත්තක් නො වූ අතර පතල් කැණීමේ යානය මින් පෙර බොහෝ අවස්ථාවල ප්‍රමාණයෙන් කුඩා ග්රහක මේ ආකාරයෙන් සම්බන්ධ කරගෙන ඇදගෙන ගොස් තිබේ. නමුත් මෙවර ඔවුන් මුහුණ දෙන්නේ වෙනස් ම ආකාරයේ අත්දැකීමකට බව අමුතුවෙන් කිව යුතු නො වේ. අභ්‍යවකාශ ගල් කැබැල්ල යානය මෙන් සිය ගුණයක් පමණ විශාල වූ අතර එය අතිමහත් වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබිණ. ප්‍රතිවිරුද්ධ දෙසට යොදන බලයකින් එය නැවැත්වීමට උත්සාහ කිරීම නිරර්ථක ක්‍රියාවක් විය. එවැන්නක් සඳහා දරන උත්සාහයක දී රැහැන් කැඩී යාම හෝ යානය දෙකඩ වී යාම නොවැළැක්විය හැකි විය.
මතු සම්බන්ධයි
සන්සරසිදු