බ්‍රසීලයේ අභිනව ජනාධිපතිවරයා වශයෙන් එලැඹෙන ජනවාරි 01 දා වැඩ භාරගැනීමට නියමිත ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යටතේ අමේසන් වනාන්තරය මුහුණ පා තිබෙන ඛේදනීය තත්ත්වයෙන් එය වඩාත් යහපත් අතට හැරෙනු ඇති බවට ඉඟි පළ වනවා. ඔහු 2003 වසරේ සිට 2011 දක්වා ද බ්‍රසීලයේ ජනාධිපති ධූරය හොබවා තිබෙනවා.
බ්‍රසීලයේ වත්මන් ජනාධිපති වන ජයිර් බොල්සොනාරෝ දූෂිත පාලකයෙකු බවට පසුගිය වසර කිහිපය පුරාවට නම් දැරුවේ ඇමේසන් වනයේ ගස් කඳන් කැපීමට පවා අවසර ලබා දීම මුල්කර ගෙනයි. ඔහුගේ පාලන සමය තුළ බ්‍රසීලයේ වන සංහාරය පෙර නො වූ විරූ ලෙස ඉහළ අගයක් වාර්තා කළා. මේ පිළිබඳ කෙරුණු විද්‍යාත්මක පර්යේෂණවලින් පනී ගියේ හරිතාගාර වායු අවශෝෂණය කරගනිමින් පරිසරය සිසිල් කිරීමට දායක වූ ඇමේසන් වනයේ ඇතැම් පෙදෙස් ම ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන තැනට පත් ව ඇති බවයි.
ලූලා, බොල්සොනාරෝ පරදා ජනපති තරගය ජයගැනීමෙන් පසු කළ පළමු විදෙස් සංචාරය වශයෙන් ඉකුත් දා ඊජිප්තුවේ Sharm El-Sheikhහි පැවැති COP27 සමුළුවට සහභාගී වුණා. ඔහු සමුළුව අමතමින් කළ කතාවේ දී සඳහන් කළේ 2025 වසරේ COP27 සමුළුව බ්‍රසීලයේ අමේසන් වනාන්තරයට මායිම් වන ප්‍රාන්තයක පැවැත්වීමට තමා සූදානම් බවයි.
“මා මෙහි පැමිණියේ ඔබ ඉදිරියේ සුපුරුදු බ්‍රසීලය යළිත් පැමිණෙන බව පැවසීමටයි. අපි අනවසර වන සංහාරයට එරෙහි ව දැඩි සටනක නිරත වෙනවා.” ඔහු සඳහන් කළා.
වන සංහාරකයන්ගේ අනිටු බලපෑමට නතු වන්නේ ගස් කොළන් හා සතුන් පමණක් ම නොවෙයි. වනාන්තරයේ කල් ගෙවන ස්වදේශීය ජන කොට්ඨාස ද මෙයින් අගතියට පත් වනවා. තේරී පත් වූ නව ජනාධිපතිවරයා පවසා සිටියේ ස්වදේශීය ජන කොටස් ඒකරාශී කරමින් ඔවුන් වෙනුවෙන් ම වෙන් වූ අමාත්‍යංශයක් ඇති කිරීමට කටයුතු කරන බවයි. වන සංහාරක බහු ජාතික සමාගම් විසින් ගොත්‍රික ජනතාව හට අපරාධ කරුවන් සේ සලකන යුගය නිමා කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.
ඊජිප්තුවේ පැවැති දේශගුණික කතිකාවට සහභාගී වන ලූලා වෙනුවෙන් පරිසර හිතකාමී අධික ජනකායක් පෙරමං බලා සිටි බව දැකගත හැකි වුණා. ඒ අතර සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු බ්‍රසීල ස්වදේශීය ජන කොටස් ද සිටියා. ඔවුන් ජනප්‍රිය පාපන්දු සුබපැතුම් ගීතයක් වන “ඔලේ ඕලේ ඔලේ ඕලා” ගීතය වෙනස් කරමින් “ඔලේ ඕලේ ඔලේ ලූලා” යනුවෙන් ගායනා කරනු දැකගත හැකි වුණා.
කෙසේ වුවත් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඇමේසන් වනය රැකගැනීම ලේසි පහසු කටයුත්තක් නො වනු ඇති බවයි.
වර්ග කිලෝමීටර 7,000,000ක් දක්වා විහිදෙන අමේසන් ද්‍රෝණියත්, වර්ග කිලෝමීටර 5,500,000ක වපසරියක් පුරා පැතිරී ඇති ඇමේසන් වැසි වනාන්තරයත් අද්විතීය පරිසර පද්ධතියකට උරුමකම් කියනවා. එය “පෘථිවියේ පෙණහල්ල” ලෙස හැඳින්වෙන්නේ ගෝලීය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20% ක් ම සැපිරෙන්නේ එමගින් වීම හේතුවෙන්. දකුණු අමෙරිකාව පුරා විහිදුණු රාජ්‍යයන් ගණනාවක් මතින් මේ වැසි වනාන්තරය වැතිරී ඇතත් 60%ක් ම ඇත්තේ බ්‍රසීල දේශසීමාව තුළයි. පේරු රාජ්‍යට 13% ක් සහ කොලොම්බියාවට 10% මෙන් ම තවත් සුළු කොටස් කිහිපයක් බොලීවියාව, ඉක්වදෝරය, ප්‍රංශ ගයානාව හා වෙනිසියුලාව ආදී වෙනත් දකුණු ඇමෙරිකානු රටවල ද ව්‍යාප්ත වී තිබෙනවා.
සත්‍ය හෙට්ටිආරච්චි
Bloomberg ඇසුරෙනි.