ඇමරිකා එක්සත් ජනපදයේ Colossal Laboratories & Biosciences සමාගම මිහි මතින් තුරන් ව ගිය මැමත් හස්තියා 2027 වසර වන විට යළිත් මෙලොවට දායාද කිරීමට කටයුතු කරන බව පසුගිය දා නිවේදනය කළා. ඒ වෙනුවෙන් කෙරෙන පර්යේෂණ කටුයුතු සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 60ක මූල්‍යමය වෙන් කිරීමක් ද පසුගිය වසරේ දී සිදු කර තිබුණා.
Colossal සමාගම විසින් මැමත් සත්ත්වයා යළි නිර්මාණය කිරීම වෙනුවෙන් ජාන සංස්කරණ කටයුතු අරඹනු ලැබුණේ 2021 වසරේ දී යි. මේ ව්‍යායාමය සාර්ථක ලෙස අවසානය දුටුවහොත් 2027 වන විට යළිත් මැමත් සතුන් මිහිපිට ඇවිද යනු දැකිය හැකි වනු ඇති බවයි සමාගම පවසන්නේ. එපමණක් නොවෙයි එසේ නිර්මාණය කෙරෙන මැමත් සතුන් ඔවුන් මින් පෙර වාසය කළේ යැයි සැලකෙන ධ්‍රැවාසන්න ස්වභාවික පරිසර පද්ධති වෙතට මුදා හැරීමට ද කටයුතු සැලසෙනු ඇති.
Colossal සමාගම උපකල්පනය කරන්නේ මැමත් සතුන්ගේ සංචරණ රටාවන් හේතුවෙන් ආක්ටික් ප්‍රදේශය තුළ පරිසරය ද සංරක්ෂණය වනු ඇති බවයි. මැමතුන් නිදැල්ලේ මුදා හැරීමට සුදුසු භූමිය ලෙස Colossal සමාගම මුලින් සලකා බලමින් සිටියේ සයිබීරියාවයි. නමුත් උත්සන්න වී ඇති යුක්‍රේන – රුසියානු යුද වාතාවරණය නිසා ඒ අදහස අත්හරින්නට සිදු ව තිබෙනවා.
වූලි මැමතාගේ DNA 99.6% පමණ ම ආසියානු අලියාට සමාන කමක් දක්වනවා. එනිසා සිය පර්යේෂණ සියල්ල හරි මඟක යන බව සහතික කළ හැකි බවයි ඔවුන් පවසන්නේ. “බොහෝ දෙනාගේ මනස්තලයන් තුළින් මමැත් සත්ත්වයා මැකී ගොසින් අවසන්. නමුත් අපේ සමාගමේ විද්‍යාඥයන් මෙන් ම පර්යේෂණාගරවල තත්ත්වය ඊට වෙනස්. අපි දැනටමත් ඉන්නේ වූලි මැමත් යළි ගෙන්වන ක්‍රියාවලියේ නිරත වෙමින්.” සමාගම සඳහන් කරනවා.
ජාන සංස්කරණය මඟින් ඉදිරි වසර කිහිපය ඇතුළත මැමත් කළලයක් නිර්මාණය කරගන්නට ඔවුන් බලාපොරොත්තු වනවා. පසු ව එය අප්‍රිකානු කෙනරකගේ ගර්භාෂයේ තැන්පත් කෙරෙනු ඇති. නියමිත ගර්භනී කාලයෙන් පසු ස්වභාවික ලෙසින් කාලාන්තරයකට පසු මැමත් පැටවෙකු මෙලොව එළිය දකිනු ඇත්තේ එලෙසයි.
Popular Mechanics ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි