සැන්දෑ වන විට පත්‍ර හැකිලී නිද්‍රා චලන පෙන්වන ශාක අදටත් අපට අමුත්තක් නොවෙයි.
නවතම අධ්‍යයනයකින් පෙනී ඇති පරිදි වසර මිලියන 250කට ඉහත භූ ඉතිහාසයේ ප්’මියන් අවධියේ දී එක්තරා වඳ වී ගිය ශාක කාණ්ඩයක ශාකයන් අඳුරේ දී තම පත්‍ර හැකිලී පවත්වාගෙන තිබෙනවා.
මේ බව සොයාගෙන තිබෙන්නේ කෘමීන් එම පත්‍ර වලට දෂ්ට කිරීමෙන් හටගෙන ඇති සලකුණු පරීක්ෂා කිරීමෙනුයි.
පසුගිය පෙබරවාරි 15 වැනි දින Current Biology නම් ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවකට අනුව ෆොසිලභවනය වී මේ ශාකවල පත්‍ර රෝල් වී හැකිලීමෙන් නිද්‍රා චලනයක් පෙන්වා ඇති බව දැක්වෙනවා.
“ශාක පරිණාමයේ එතරම් පැරණි අවධියක දී පත්‍රවල නිද්‍රා චලන පරිණාමය වී තිබීම මට නම් පුදුමයක්.”
චීනයේ කුන්මින් හි යුනාන් සරසවියේ ෂුඕ ෆෙන්ග් පවසනවා.
මේ අධ්‍යයන වාර්තාවේ සහාය කතුවරයෙකු වන ස්වීඩනයේ ස්ටොක්හෝම්හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධානි, මහාචාර්ය Stephan McLoughlin පවසන්නේ මේ චර්යාත්මක උපක්‍රමයට ඉතා පැරණි මූලාරම්භයක් ඇති බවයි.
චාල්ස් ඩාවින් විසින් ශාකවල නිද්‍රා චලන විස්තර කරමින් 1880 වසරේ දී ලියා තිබෙන “The Power of Movements in Plants ” නම් කෘතියේත්, මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ සහායකයකු වන Thasos හි ඇන්ඩ්‍රොස්තීනස් විසින් ක්‍රිස්තු පූර්ව 324 දී ලියූ ලේඛනවලත් මෙවැනි ශාක ගැන දැක්වෙනවා.
ශාකවල පත්‍රයන් මේ නිද්‍රා චලන සිදු කරන්නේ ඇයි ද යන්න විද්‍යාඥයින්ට ස්ථිර ව ම පැහැදිලි නැහැ.
එය උෂ්ණත්ව පාලනය සඳහා හෝ ජල ප්‍රමාණය පාලනයට යොදාගන්නවා විය හැකියි.
තවත් අදහසක් නම් කෘමි සතුන්ගෙන් සිදුවිය හැකි හානි අවම කර ගැනීම පිණිස මෙසේ පත්‍ර රෝල් වී හැකිලෙන බවයි.
කෘමීන්ගෙන් සිදු වී තිබෙන සිදුරු කිරීම්වලින් ඇති වී තිබෙන සමමිතික රටාවන් දෙස බලන විට ඔවුන් පත්‍රවලට දෂ්ට කරන විට ඒවා රෝල් වී හැකිලී තිබූ බව පැහැදිලි වනවා.
මේ අධ්‍යයනය සඳහා යොදාගත් ශාක කණ්ඩය ගයිගැන්ටොප්ටෙරිඩ් නමින් හඳුන්වන අතර පර්ණාංග වැනි එම ශාක වසර මිලියන 252කට ඉහත දී පර්මියන් – ත්‍රියාසික මහා වඳවීමෙන් නෂ්ට වී ගොස් තිබෙනවා.
Live Science සහ Current Biology ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි