2017 වසර ගෙවී ගියේ මේ සහශ්‍රකය තුළ හටගත් අද්විතීය ම තාරකා විද්‍යා සංසිද්ධියේ විස්මයෙන් ලෝකයක් සලිත කරමින්. ඒ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කළ Oumuamua නම් අන්තර්තාරීය වස්තුවේ ඇදී යාමයි. ඒ මිනිසා දැනුවත් ව සෞරග්‍රහ මණ්ඩලය හරහා ඇදී ගිය මුල් ම අන්තර්තාරීය වස්තුවයි. අසාමාන්‍ය දිගු හැඩයකින් යුතු වූ Oumuamua දිගින් මීටර 200ක් පමණ වුණේ දියුණු පිටසක්වළ බුද්ධියකින් මෙහෙයවෙන යෝධ සිලින්ඩරාකාර අභ්‍යවකාශ යානයක ආගමනය ගැන කියැවෙන සර් ආතර් සී. ක්ලාක්ගේ රාමා නවකතා මාලාව සිහි ගන්වමින්.
හරි හැටි ආතක් පාතක් නො දන්නා මේ සංචාරක අමුත්තා ගැන සූක්ෂ්ම අධ්‍යයනයක නිරත වන්නට ප්‍රමාණවත් කාලයක් තාරකා විද්‍යාඥ ප්‍රජාවට ලැබුණේ නැහැ. ඒ එය සතු වූ අධික වේගය නිසා මාස කිහිපයක කාලය තුළ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට පිට ව යාම හේතුවෙන්. මේ නිසා ම එය හරියට ම කුමක් දැයි විස්තර කෙරෙන මතවාද ගොඩනැඟුණා. ග්‍රහකයක, ධූමකේතුවක සිට පිටසක්වළ යානයක් දක්වා විවිධ අදහස් පළ වුණා.
කෙටි කාල පරාසයක් තුළ කළ නිරීක්ෂණ මඟින් ම එය බහුවලයික කක්ෂයක ගමන්ගන්නා දෙයක් නො වන බව විද්‍යාඥයන් නිගමනය කළා.
Oumuamuaගේ අසාමාන්‍ය වේගය ද විද්‍යාඥ ප්‍රජාව තුළ ඇති කළේ කුතුහලයක්. එය හිරු වටා යන විට අධික ත්වරණයක් ලබා ගන්නා බව නිරීක්ෂණය වුණා. ධූමකේතුවක් හෝ ග්‍රහකයක් හෝ හිරු වටා ගමන් ගන්නා විට බලපවත්නා ගුරුත්ව තල්ලුව (gravitational kick) නිසා එහි වේගය වැඩි වීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත් Oumuamua ලබාගත් වේගය තුන් ගුණයකින් පමණ අසාමාන්‍ය ලෙස වැඩියි. ගුරුත්ව තල්ලුවෙන් ද එය පැහැදිලි කළ හැකි වූයේ නැහැ.
ග්‍රහකයකට වඩා මෙය ධූමකේතුවක් වීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් නිගමනය කළේ හිරුට ළං වන විට ඒවායේ ඇති අයිස් වාෂ්ප බවට පත් වී විදාරණය වීම නිසා අමතර ගම්‍යතාවක් ඇතිවිය හැකි බැවින්. එහෙත් ධූමකේතුවක් සෑම විටෙකම ප්‍රකට කරන වල්ගයක් Oumuamua වෙතින් දිස් වූයේ නැහැ.
නමුත් මෑතක දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයකින් Oumuamua කුමක්දැයි පැහැදිලි කරන නවතම මතවාදයක් ඉදිරිපත් වී තිබෙනවා. මේ අධ්‍යයනයේ මුලසුන හෙබවූයේ එහි රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක වන ජෙනිෆර් බර්ග්නර් සහ කොර්නෙල් වශ්වවිද්‍යාලයේ ඩැරිල් සෙලිග්මන් විසින්.
“මම වසර ගණනක් තිස්සේ වායු විදාරණය සිදු නො වීම ගැන පැහැදිලි කරන්නට මඟක් සෙව්වා. මුලින් ම මම හිතුවේ විදාරණයකට ප්‍රමාණවත් තරම් දුහුවිලි එහි නොතියෙන්නට ඇති බවයි. පස්සේ අපට කල්පනා වුණා මේ වස්තුව අපි නිතර දෙවේලේ දකින ධූමකේතුවක ඇති වඩා හයිඩ්‍රජන්, නයිට්‍රජන් හෝ කාබන් මොනොක්සයිඩ් වගේ වාෂ්පශීලී වායුවකින් යුක්ත වෙන්න පුළුවන් බව.”
නමුත් මේ මතවාදය තුළත් පුරවාගත නො හැකි හිස් තැන් තිබෙනවා. උදාහරණයක් ලෙස Oumuamua වැනි වස්තුවක් තුළ හයිඩුජන් මිදීමට අතිශය අඩු උෂ්ණත්වයක් අවැසි වනවා. මෙවැනි වස්තුවක අභ්‍යන්තරයේ ඇති ඝන අණුක වලාවන් අතර එවැනි අඩු උෂ්ණත්වයක් ඇතැයි සිතීමට අපහසුයි. එසේ ම මෙවැනි වස්තූන් අභ්‍යන්තරයේ බහුල ලෙස අඩංගු වීමට තරම් නයිට්‍රජන් ද ක්ෂීරපථ මන්දාකිණය තුළ සුලබ යැයි සිතීමට නො හැකි බව සෙලිග්මන් සඳහන් කරනවා.
Space.com ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි