පංච මහා විල් ආක්‍රමණය කළ ‘වැම්පයර් මාළුවා’

සිය ධාරකයාගේ ලේ උරා බොමින් වැඩෙන පරපෝශී මත්ස්‍යයෙක් සිය ගහනය අධික ලෙස ඉහළ දමමින් සිටින බව උතුරු ඇමරිකාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය කෝවිඩ් සමය තුළ ගහන පාලන වැඩසටහන් නියමිත පරිදි සිදු කිරීම අඩාල වූ බැවින්.

Sea Lamprey යනුවෙන් හැඳින්වෙන මේ පරපෝෂිතයාට ආ‍ඳෙකුගේ වැනි නළාකාර සිරුරක් ඇති අතර වෘත්තාකාර ලෙස උල් දත් පිහිටි මුවක් පිහිටා තිබෙනවා. ඇමරිකාවේ National Oceanic and Atmospheric Administration සඳහන් කර ඇති ආකාරය‍ට ඔවුන් උතුරු සහ බටහිර අත්ලාන්තික් සාගර කලාපවල ආජන්මයන් වන නමුත් 19 වන සියවසේ දී පමණ මහා විල් ද ආක්‍රමණය කර තිබෙනවා. ඒ ඔන්ටාරියෝ සහ ඊරි විල් වෙත සම්බන්ධ වන වේලන්ඩ් ඇළ මාර්ගය හරහායි. එතැන් සිට දශක කිහිපයක ඇවෑමෙන් පංච මහා විල් සියල්ල ම ඔවුන්ට නතු වූ බවයි.

පංච මහා විල් ආශ්‍රිත ව ගොඩනැඟී ඇති ධීවර කර්මාන්තයට ද මේ නිසා දැඩි බලපෑම් එල්ල වුණා. 1960 ගණන්වල දී ඒවායින් නෙලා ගැනුණු අස්වැන්න රාත්තල් මිලියන 15කින් පමණ අඩු කරන්නට මේ පරපෝෂිත ආඳන් කටයුතු කළා.

මහා විල් කොමිෂන් සභ‍ාව (The Great Lakes Fishery Commission), Wildlife Service and Fisheries සහ Oceans Canada ආදී සංස්ථා මඟින් මේ ආක්‍රමණික විශේෂයේ ගහනය පාලනය කිරීම සිදු වන්නේ ඉන් පසු ව යි. එම වැඩපිළිවෙළ සාර්ථක බව පෙනෙන්නට තිබුණා. කොමිෂන් සභාව සිය වෙබ් අ‍ඩවිය හරහා ප්‍රචාරණය කර තිබුණේ පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශවලින් ‍පරපෝෂිත ආඳන්ගේ ගහනය 90%කින් පමණ අඩු කරන්නට සමත් වූ බවයි.

නමුත් 2020 සහ 2022 අතර කාලයේ පැතිර ගිය කෝවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පැණවූ ගමනාගමන වාරණ හේතුවෙන් ඔවුන්ගේ ගහන පාලන මෙහෙයුම් නිසි පරිදි පවත්වාගැනීමට හැකි වූයේ නැහැ. නැවතත් මෙකී පරපෝෂී විශේෂයේ ගහනය ඉහළ ගොස් ඇත්තේ ඒ හේතුවෙන් බවයි ඔවුන් පවසන්නේ.

Sea Lamprey ගහනය පාලනය කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 15ත් 20ත් අතර පිරිවැයක් වියදම් වනවා.‍

Science Alert ඇසුරෙනි.‍

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

අභ්‍යවකාශයේ දී ලබාගත් ප්‍රථම වෛද්‍ය විද්‍යාත්මක එක්ස්-කිරණ ඡායාරූප

ඔස්ට්‍රේලියානු වෙරළට ගොඩගැසූ අද්භූත ලෝහමය ගෝල රොකට් සුන්බුන් බවට සැක කෙරේ

එක්සත් ජනපද අභ්‍යවකාශ බලකාය සතු චන්ද්‍රිකා අක්‍රිය කළ හැකි නවතම විද්‍යුත් චුම්භක අවිය