‘මනුෂ්‍ය නො වන’ පිටසක්වළ ජීවීන්ගේ බවට පැවසෙන මළ සිරුරු දෙකක් ඊයේ දිනයේ මෙක්සිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ දී ප්‍රදර්ශනය කෙරුණා. ඒ හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ කරුණු මතු කිරීම සඳහා කැඳවා ඇති එරට ප්‍රථම කොංග්‍රස් කරුණු විභාගය ඉදිරියේ දී යි.
පේරු රාජ්‍යයේ Cusco නගරයෙන් හමු වී ඇති එම මළ සිරුරු ද්විත්වය ප්‍රදර්ශනය කෙරුණේ වීදුරු පියනක් සහිත පෙට්ටි දෙකක් තුළ තැන්පත් කිරීමෙන් අනතුරුවයි. කොංග්‍රසයේ සිට සජීව විකාශයක් මඟින් එය මහජනයාට විවර වීමත් සමඟ පිටසක්වළ ජීවීන් පිළිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනාගේ අවධානය ඒ වෙතට එල්ල වී තිබෙනවා.
කොංග්‍රස් මණ්ඩලය ඉදිරියට පැමිණ මේ හෙළිදරව්ව සඳහා පෙරමුණ ගෙන තිබුණේ මාධ්‍යවේදියෙකු මෙන් ම යූෆොලොජිස්ට් කෙනෙකු ලෙස තමන් හඳුන්වාගන්නා Jaime Maussan නමැත්තෙක්. මමීකෘත නිදර්ශක ද්විත්වය ‘අප මෙන් භෞමික පරිණාමයේ’ කොටස් නො වන බවත්, ඒවායේ DNA අතුරින් තුනෙන් එකක් ම අපට ආගන්තුක බවත් ඔහු එහි දී සඳහන් කර සිටිනු මෙක්සිකානු මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔහු මෙම ප්‍රකාශයන් සිදු කළේ කොංග්‍රස් මණ්ඩලය තුළ දිවුරුම් දීමකින් අනතුරුව වීම විශේෂත්වයක්.
ඔහුගේ ප්‍රකාශවලට අනුව 2017 දී නිරාවරණය කරගෙන ඇති මෙම මළ සිරුරු දෙක මෙක්සිකෝවේ Autonomous National University විශ්වවිද්‍යාලයේ දී පරීක්ෂණයන්ට ලක් කර තිබෙනවා. ඔහු පවසන පරිදි එහි දී සිදු කළ කාබන්-14 කාල නිර්ණ පරීක්ෂණවලට අනුව ඒවා අදින් වසර 700ත් 1800ත් අතර යුගයකට අයත් වනවා. ඇඟිලි තුන බැගින් වූ දෑතකින්, සහ සාපේක්ෂ ව විශාල හිසකින් සමන්විත මළ සිරුරු ජනප්‍රිය සංස්කෘතියේ හොලිවුඩ් සිනමාපටයක් වන ET හි එන පිටසක්වළ ජීවියාට අතිශය සමාන රූපකායකින් හෙබි බව බැලූ බැල්මෙන් පෙනී යනවා.
කොංග්‍රසය ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වූ Maussan විශ්වවිද්‍යාලය තුළ දී මළ සිරුරු විද්‍යාඥයන්ගේ අධ්‍යයනයට ලක් වූ බවත්, එහි DNA අතුරින් 30%ක් පෘථිවියට ආගන්තුක බවත් ප්‍රකාශ කළා. මෙහි දී මළ සිරුරුවල එක්ස් කිරණ ඡායාරූප ද ඉදිරිපත් කෙරුණා. දිවුරුම් දීමකින් අනතුරුව Maussan සමග එහි එක් වූ අනෙකුත් විශේෂඥයන් සඳහන් කර තිබුණේ එක් සිරුරක් තුළ ‘බිත්තර’ වැනි ව්‍යුහ පවතින බව නිරීක්ෂණය වූ බවයි. සිරුරු දෙකෙහි ම පෘථිවිය මත අතිශය දුර්ලභ Osmium වැනි ලෝහවලින් සැදුම් ලත් රෝපණයන් ද දක්නට ලැබුණු බව ඔවුන් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් පිටසක්වළ ජීවීන් බව පවසමින් මින් පෙර ද Jaime Maussan මෙවැනි අද්භූතාකාර මමීකෘත සිරුරු සමාජය ඉදිරියට ගෙනැවිත් ඇති අතර ඒවා නොබෝ කලකින් සත්‍යතාවයෙන් දුරස් බව අනාවරණය වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් ඔහු විසින් 2017 වසරේ දී ම පේරු රාජ්‍යයෙන් සොයාගැනුණු ‘පිටසක්වළ ජීවීන්’ගේ යැයි පැවසූ මමී පහක් පසු කාලීන ව කුඩා දරුවන් පස් දෙනෙකුගේ මමීකෘත මළ සිරුරු බව හෙළි වුණා.
එසේ ම මෙම මළ සිරුරු ද්විත්වය හා සම්බන්ධ ව සිදු කෙරුණු බව පැවසෙන කිසිඳු අධ්‍යයනයක් මේ වන තුරු පිළිගත් ජර්නලයක පළ වී නොමැති බව අවධාරණය කළ යුතුයි.
සෞන්දර්ය සෙනරත්