විද්‍යාඥයන් දශක ගණනක් තිස්සේ තැනීමේ බලාපොරොත්තුවෙන් සිටි කෘත්‍රිම ද්‍රව්‍යයක් දැඩි උෂ්ණත්වයකට සහ පීඩනයකට ලක් කිරීමෙන් පසු නිපදවාගන්නය සමත් වී තිබෙනවා. එය දියමන්ති තරම් ම සවිශක්තියෙන් යුක්තයි. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය කැපීම් සිදු කරන යන්ත්‍ර, සංවේදක මෙන් ම පුපුරන ද්‍රව්‍ය තැනීම සඳහා ද වැදගත් වනු ඇති බවයි.
කාබන් සහ නයිට්‍රජන් එක් කොට තනනු ලබන සංකෝචන ගුණය අඩු සහ ඇතැම් විට දැඩි ම ද්‍රව්‍යය ලෙස හඳුනාගෙන ඇති දියමන්තිවලටත් වඩා බිඳී යෑමට ප්‍රතිරෝධී ද්‍රව්‍යයක් පිළිබඳ මුලින් ම සෛද්ධාන්තික සංකල්පයක් බිහි වුණේ 1989 වසරේ දී යි. කෙසේ නමුත් එය සෑදීම සඳහා ගත් සියලු උත්සාහයන් අසාර්ථකත්වයෙන් කෙළවර වී තිබුණා.
නමුත් මෙවර, එක්සත් රාජධානියේ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ඩොමිනික් ලැනියල් (Dominique Laniel) ප්‍රමුඛ පර්යේෂණ සගයන් එහි කුඩා සාම්පල කිහිපයක් තනන්නට සමත් වී තිබෙනවා. කාබන් නයිට්‍රයිඩ ප්‍රභේදයක් වන මෙය නිර්මාණය කළ හැකි වී තිබුණේ කාබන් සහ නයිට්‍රජන් දියමන්ති තුඩු අතර වායුගෝලීය පීඩනය මෙන් 700,000 ගුණයක පීඩනයකට ලක් කිරීමෙන් සහ ලේසර් ධාරා මඟින් සෙල්සියස් අංශක 3000ක උෂ්ණත්වයකට ලක් කිරීමෙන් අනතුරු ව යි.
දියමන්තිවල දෘඩතාව ගිගාපැස්කල් 90ක් පමණ වනවා. මින් පෙර දියමන්තිවලට පමණක් දෙ වැනි වන දෘඩතම ද්‍රව්‍යය ලෙස සැලකුණේ ගිගාපැස්කල් 50ත් 55ත් අතර අගයක් දැරූ කියුබික් බොරොන් නයිට්‍රයිඩ්. ලැනියල් පවසන පරිදි ඔවුන් තනන්නට සමත් වූ නව ද්‍රව්‍යය ගිගා පැස්කල් 78ත් 86ත් අතර දරාගැනීමේ හැකියාවෙන් යුක්තයි.
කෙසේ නමුත් 1989 දී සිදු කළ සෛද්ධාන්තික අධ්‍යයනවලින් යෝජනා කළ පරිදි මෙම ද්‍රව්‍යයට දියමන්තිවල දෘඩතාව ද පරයා යා හැකි බවට පළ වූ ඇස්තමේන්තුව දැන් කණපිට ගැසී තිබෙනවා. දැන් විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ දෘඩතාව අතින් දියමන්ති පරයා යාමට කිසිඳු ද්‍රව්‍යයක් නොමැති බවයි.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්