ඔබේ ජීවිතය දෙස බලා හිඳිමින් ඔබ මිය යන දවස පුරෝකථනය කළ හැකි මෙවලමක් සිතින් මවාගන්න. කෘත්‍රිම බුද්ධිය ගැන නවතම පර්යේෂණයන්ට ස්තූති වන්නට දැන් ඒ ‘මරණයේ ගණක යන්ත්‍රය’ යථාවක් බවට හැරෙමින් පවතිනවා. නමුත් එය කිසි දා විවෘත නො කළ යුතු ගණයේ ‘පැන්ඩෝරාගේ පෙට්ටගමක්’ දැ යි යන්න විවාදාපන්නයි.
ඩෙන්මාකයේ සහ ඇමරිකාවේ පර්යේෂකයන් පිරිසක් 75%කට වැඩි නිරවද්‍යතාවකින් යුතු ව ඉදිරි වසර හතර තුළ යම් පුද්ගලයෙකු මිය යන්නේ දැ යි පුරෝකථනය කළ හැකි කෘත්‍රිම බුද්ධි පද්ධතියක් නිර්මාණය කරන්නට සමත් ව සිටිනවා. life2vec ලෙස නම් කර ඇති එය පුද්ගලයන්ගේ වයස, සෞඛ්‍ය තත්ත්වය, රැකියාව, වේතනය සහ අනෙකුත් සාධක ගණනාවක් සලකා බලමින් සිය පුරෝකථනය සිදු කරනවා. මේ වන විට ඩෙන්මාක් ජාතිකයන් 6 මිලියනයකගේ පමණ දත්තවලින් එය පෝෂණය ලබා තිබෙනවා. පර්යේෂකයන්ගේ පර්යේෂණ වාර්තාවේ දැක්වෙන පරිදි ජීවිතයේ විවිධ සිදු වීම් පිළිබඳ තොරතුරු වාක්‍ය ලෙස එයට ඇතුළත් කර තිබෙනවා.
‘සෑම පුද්ගලයෙකු ම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ මුහුණ දෙන සිදු වීම්වල අනුපිළිවෙළ වශයෙන් හඳුනාගෙන විශ්ලේෂණයට භාජනය කිරීම සඳහා අපි යොදාගන්නේ ChatGPT පිටුපස තිබෙන transformer models නම් තාක්ෂණයයි.’ 2023 දෙසැම්බරයේ පළ වූ අධ්‍යයන වාර්තාවේ කර්තෘ Sune Lehmann නිව් යෝක් පෝස්ට් වෙත පවසා තිබුණා.
පර්යේෂකයන් පද්ධතියට දත්ත කැවීම පිණිස 2008 සිට 2020 දක්වා සය මිලියනයක් වූ ඩෙන්මාක් ජාතිකයන් පිරිසක් යොදාගෙන තිබුණා. මේ ජන නියැදිය සමස්ත සමාජය නියෝජනය කෙරෙන පරිදි ලිංගිකත්වයෙන්, වයසින් මෙන් ම සමාජ තරාතිරමෙන් පවා විවිධ වුණා. අනතුරු ව පර්යේෂකයන් පද්ධතිය වෙත දත්ත ලබා දුන් අතර 2016 ජනවාරි 01 දා සිට වසර 4ක් වත් ජීවත් වේ යැ යි උපකල්පනය කළ හැකි අය සෙවීමට භාර කර තිබුණා.
‘අපගේ දත්ත කට්ටලයේ පරිමාණය මඟින් එක් එක් පුද්ගලයා කාලය මතින් ගමන් කරන ආකාරය විස්තර කරන තනි පුද්ගල ජීවන ගමන් පථවල අනුක්‍රමික මට්ටමේ නිරූපණයන් ගොඩනැගීමට අපට ඉඩ සලසනවා. මේ ඔස්සේ විවිධ සිදු වීම් ගහන අවකාශයක් තුළ පුද්ගල ජීවිත පරිණාමය වන ආකාරය අපට නිරීක්ෂණය කළ හැකියි.’ අධ්‍යයන වාර්තාවේ සඳහන්.
කාලයත් සමග කුසලතා වර්ධනය වීමෙන් තනි පුද්ගලයෙකුගේ ‘ජීවන ගමන් පථය’ 78%ක නිරවද්‍යතාවකින් ප්‍රතිනිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධි පද්ධතිය සමත් ව තිබුණා. මෙමඟින් ලබාගත් පුරෝකථන අදාළ පුද්ගලයන් වෙත දැනුම් දීම සාදාචාරාත්මක නො වන දෙයක් වන බැවින් පර්යේෂකයන් එම දින වකවානු ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ.
The Indian Express ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්