Home Science News Ingenuityගේ බමරතල හානියට ලක් ව ඇති බව නවතම ඡායාරූප පෙන්වා දෙයි

Ingenuityගේ බමරතල හානියට ලක් ව ඇති බව නවතම ඡායාරූප පෙන්වා දෙයි

by Sathya

අඟහරු වායුගෝලයේ පියාසර කරමින් තොරතුරු විමසා බැලූ NASA ආයතනයට අයත් Ingenuity හෙළිකොප්ටරය පසුගිය ජනවාරි 18 වැනි දා සිදු කළ පියාසැරිය අතරතුර දී අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන්නා. එය සතු අධි විභේදන කැමරාව මඟින් ලබා ගැනුණු
නවතම ඡායාරූපවලින් පෙනී යන්නේ එය සතු අවරපෙති අතරින් අවම තරමේ දෙකකටවත් හානි සිදු වී ඇති බවයි.

NASA ජෙට් ප්‍රචාලන විද්‍යාගාරය විසින් නිකුත් කරනු ලැබූ එම ඡායාරූපවල දිස් වන්නේ Ingenuity සතු බමරතලයක සෙවණැල්ල අඟහරුගේ පොළොව මත පතිත වී ඇති ආකාරයයි. කාබන් ෆයිබර් මඟින් නිර්මිත එහි බමරතල දෙකක අග කොටස බිඳී ගොස් ඇති බව එම සෙවණැලි පෙන්වා දෙනවා. බිඳී ගිය කොටසක් ලෙස උපකල්පනය කළ හැකි කළු පැහැති කොටසක් ද අසල බිම වැටී තිබෙනු ඇතැම් ඡායාරූපවල දැකිය හැකියි.

කිලෝග්‍රෑම් 1.8ක බරින් යුතු Ingenuity හෙලිකොප්ටරය අඟහරු වෙත යැවුණේ Mars 2020 මෙහෙයුම හරහා Perseverance රෝවරය ද සමගයි. 2021 වසරේ සිය මෙහෙයුම් ආරම්භ කළ එය ගත වූ වසර තුනක කාලය තුළ පියාසැරි 71ක් සාර්ථක ලෙස අවසන් කර තිබුණා. පසුගිය ජනවාරි 18 වැනි දා අනතුරට ලක් වන විට එය සිටියේ සිය 72 වන පියාසැරියේ නිරත ව යි. පියාසැරිය අතරතුර යානය හා පෘථිවිය අතර ඇති සබඳතාව ඇණහිට තිබුණා. NASA ආයතනය සබඳතාව යළි ගොඩනඟා ගන්නා විටත් හෙලිකොප්ටරය අඟහරු මතට තරමක් අසීරු හදිසි ගොඩබෑමක් සිදු කර තිබුණා. යළි කෙලෙසකින් වත් Ingenuity හෙලිකොප්ටරයට පියාසර කිරීම කළ නො හැකි වනු ඇති බව හෙළි වුණා.

Ingenuity ව්‍යාපෘතියේ කළමනාකාරවරයා වන Teddy Tzanetos ඉකුත් දා සිදු කළ සජීව ප්‍රකාශයකින් කියා සිටියේ සබඳතා බිඳවැටීම සිදු වූ කාල සීමාව තුළ සිදු වූ දත්ත හානි වීම නිසා Ingenuityගේ අවසන් මොහොත කෙසේ වන්නට ඇත් ද යන්න විද්‍යාඥයන්ට ද නිශ්චිත ව ප්‍රකාශ කළ නො හැකි බවයි.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications