Home Science News වඳ ව ගිය මිරිදිය ඩොල්ෆින් විශේෂයක් හඳුනා ගැනේ

වඳ ව ගිය මිරිදිය ඩොල්ෆින් විශේෂයක් හඳුනා ගැනේ

by Sathya

අදින් වසර මිලියන 16කට පෙර ඇමසෝනියානු ගංගා කලාපවල වාසය කළ යෝධ ඩොල්ෆින් සතෙකුගේ ෆොසිල බවට පත් හිස් කබලක් සොයාගෙන තිබෙනවා. යම් හේතුවක් මත සාගරයේ සිට මිරිදිය ගංගාවලට හැඩ ගැසෙමින් පේරුහි ගංගා වෙත ඔවුන් සංචරණ කර ඇති බව සැක කෙරෙනවා. Pebanista yacuruna ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන මේ විඳ ව ගිය ඩොල්ෆින් වශේෂය මීටර 3.5ක් වත් විශාල ව වැඩෙන්නට ඇති බව සොයාගෙන තිබෙනවා. ඒ මෙතෙක් හඳුනා ගත් විශාලතම මිරිදිය ගංගා ඩොල්ෆින් විශේෂය ඔවුන් බවට පත් කරමින්.

මේ අලුත සොයාගත් වඳ ව ගිය ඩොල්ෆින් විශේෂය වර්ථමානයේ, වඳ වී යාම අබිමුව සිටින ගංගා ඩොල්ෆින් විශේෂ රැකගැනීමේ වැදගත්කම අවධාරණය කරනවා. ඉදිරි වසර 20ත් 40ත් අතර කාලයේ දී දැනට සිටින ගංගා ඩොල්ෆින් විශේෂ ද මේ ඉරණමට මුහුණ දෙන්නට නියමිත බව සොයාගෙන තිබෙනවා.

විශේෂඥයන් සඳහන් කරන්නේ මේ ඩොල්ෆින් විශේෂය අදින් වස⁣ර මිලියන 24ත් මිලියන 16ත් අතර කාලයේ සාගරයේ වාසය කළ ඩොල්ෆින් විශේෂ අයත් කුලයක් වන Platanistoidea කුලයට ම නෑකම් කියන බවයි.

පාෂාණධාතු විද්‍යාඥ Aldo Benites-Palomino මේ ෆොසිලගත හිස් කබල මුලින් ම සොයාගෙන තිබුණේ 2018 වසරේ දී යි. ඔහු එවක විශ්වවිද්‍යාල සිසුවෙකු ව සිටියා. දැන් ඔහු Zurich විශ්වවිද්‍යාලයේ පාෂාණධාතු දෙපාර්තමේන්තුවේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යයනයේ නිරත ව සිටිනවා. ඔහු පවසන්නේ මේ සොයාගැනීම පිළිබඳ අධ්‍යයන වාර්තාව පළ වීමට මෙතරම් කල් පමා වූයේ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් බවයි.

ඔහු සිය සගයෙකු සමග ඇවිදින්නට ගොස් සිටිය දී මේ හිස් කබලේ හකු ඇටයක් අහම්බෙන් නෙත ගැටී තිබුණා. “එය දුටු හැටියේ ම හඳුනා ගත්තා. මම කෑ ගැහුවා ‘මේ ඩොල්ෆින් කෙනෙක්’ කියලා. අපට අදහගන්න බැරි වුණා. පසු ව අපට වැටහී ගියා එය ඇමේසන් ගංගා රෝස ඩොල්ෆින් වි⁣ශේෂයට අයත් එකක් නො වන බව. අපි හොයාගෙන තිබුණේ, ඔවුන්ගේ සමීපත ම දැනට ජීවත් වන ඥාතීන්ගෙන් පවා කිලෝමීටර 10,000ක් දුරස් ව හිටපු යෝධයෙක්.” ඇල්ඩෝ සඳහන් කරනවා.

Zurich විශ්වවිද්‍යාලයේ පාෂාණධාතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Marcelo R Sanchez-Villagra සඳහන් කරන්නේ මේ සොයා ගැනීම ඉතාම රසවත් ආකාරයේ එකක් බවයි. “දශක දෙකක් තිස්සේ දකුණු ඇමරිකාවේ කළ කැණීම්වලින් මේ කලාපයේ විසූ යෝධ ඩොල්ෆින් විශේෂ ගණනාවක් සොයාගන්නට අපි සමත් වුණා. නමුත් මෙය තමයි මේ විශේෂයට අයත් සතෙකු හමු වූ ප්‍රථම වතාව.” ඔහු සඳහන් කරනවා.

The Guardian ඇසුරෙනි.

⁣සත්‍ය හෙට්ටිආරච්චි

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications