මිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය සිය අභ්‍යවකාශ හැකියාවන් භාවිත කරන බවත්, ඒවා සඟවා තැබීම සඳහා සිවිල් මෙහෙයුම් අවභාවිතා කරන බවත් NASA පරිපාලක බිල් නෙල්සන් ඉකුත් දා කොංග්‍රස් මණ්ඩල අතුරු කමිටුවක් ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණා. ඔහු අනතුරු අඟවමින් සඳහන් කර ඇත්තේ වොශිංටනය මින් මතුවට දැඩි සෝදිසියෙන් කටයුතු කළ යුතු ව ඇති බවයි.
“විශේෂයෙන් ම පසුගිය වසර 10 ඇතුළත චීනය අසාමාන්‍ය ප්‍රගමනයකට ලක් ව තිබෙනවා. නමුත් ඒ ගමන් මඟ අතිශය රහසිගතයි.” නෙල්සන් මෙහි දී ප්‍රකාශ කර තිබුණා.
“අපි විශ්වාස කරනවා සිවිල් අභ්‍යවකාශ වැඩසටහන ලෙසින් ඔවුන් හඳුන්වා දෙන වැඩසටහන මිලිටරිමය න්‍යායපත්‍රයක් බව. ඒ වගේ ම මම හිතනවා, අපි තරගයකට අවතීර්ණ වී ඇති බව.” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. සිවිල් අභ්‍යවකාශ මෙහෙයුම් ඇත්තේ සාමකාමී භාවිතයන් සඳහා බව බීජිං නුවර වටහා ගත යුතු ව ඇති බවත්, එවැන්නක් චීනයේ ක්‍රියා කලාපයෙන් ඉස්මතු නො වන බවත් NASA ප්‍රධානියා මෙහි දී ප්‍රකාශ කර තිබුණා.
නෙල්සන් මෙලෙස කරුණු දැක්වූයේ 2025 වසර සඳහා NASA ආයතනයට අය වැය සකස් කෙරෙන කොංග්‍රස් මණ්ඩල මූල්‍ය විසර්ජන කමිටුව ඉදිරියේයි. චීනයට පෙර ඇමරිකාව යළි සඳ මතට ගොඩබැසිය යුතු බව ද මෙහි දී ඔහු අවධාරණය කර සිටියා. යම් හෙයකින් චීනය ඉස්සර වුවහොත් “හොඳයි, මේක අපේ දේශ සීමාවක්, ඔබ පිටතින් සිටින්න” යැ යි කීමට වුව ද ඉඩ ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
අභ්‍යවකාශ ගවේෂණයේ ගෝලීය ප්‍රමුඛත්වය ඇමරිකා එක්සත් ජනපදයෙන් ගිලිහී නො යනු ඇති බව තමා විශ්වාස කරන බවට ද ඔහු මෙහි දී සඳහනක් කළා. “ඒත් අපි යථාර්ථවාදී විය යුතුයි. චීනය [අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන්] දැවැන්ත මුදල් සම්භාරයක් යට කරනවා. ඔවුන් තව තවත් ඔවුන්ගේ වැය ශීර්ෂයන් තර කරනවා. මට අනුව නම් අපි අපේ ආරක්ෂිත පළිහ (හෙවත් වැය ශීර්ෂය) පහළ නො දමා සිටීම නුවණට හුරුයි.” ඔහු අදහස් දක්වා තිබුණා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්