Home Science News වාහන තදබදය නිසා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාලයි

වාහන තදබදය නිසා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාලයි

by Sathya

වාහන තදබදය හේතුවෙන් නැඟෙන ශබ්දය බිත්තර තුළ සිටි දී පවා කුරුලු පැටවුන්ගේ වර්ධනය අඩාල කරන බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඉන් පෙන්වා දෙන්නේ බිත්තරවලින් පිටතට නො පැමිණී මෙන් ම බිළිඳු වියේ පසු වන පැටවුන්හට වාහන තදබදයේ ඝෝෂාවට දීර්ඝ කාලීන ව නිරාවරණය වීම අහිතකර ලෙස බලපාන බවයි.

“ශබ්දය අප මින් පෙර දැන සිටියාට වඩා බලවත් මෙන් ම ඍජු ලෙස කුරුල්ලන්ගේ වර්ධනයට බලපානවා.” අධ්‍යයනයේ සම කර්තෘ, ඕස්ට්‍රේලියාවේ Deakin විශ්වවිද්‍යාලයේ පක්ෂි විශේෂඥ ආචාර්ය Mylene Mariette පවසනවා. “ශබ්ද දූෂණය තව තවත් අවම කිරීම ඥාණාන්විත දෙයක් වේ වි.”

කලක පටන් සිදු වූ පර්යේෂණවලින් සොයාගෙන ඇති පරිදි ශබ්ද දූෂණය කුරල්ලන් අතර සන්නිවේදනය වඩ වඩාත් අපහසු කරන අතර ඔවුන් මානසික පීඩනයකට ලක් කරනවා. එහෙත් කුරුල්ලන් මෙම විශාදයට ලක් වන්නේ කුඩා අවධියේ සිට ද යන්න මෙන් ම ශබ්දය ඔවුන්ගේ වාසස්ථාන හා දෙමාපිය සබඳතාවයට බලපාන්නේ කෙසේ දැ යි යන්න මෙතෙක් පැවතියේ අපැහැදිලි අඩවියකයි.

Marietteගේ කණ්ඩායම මෙහි දී සිදු කර තිබුණේ ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දුනීසියාවේ බහුල ව හමු වන zebra finch පක්ෂි විශේෂයට අයත් බිත්තර දින පහක කාලයක් තුළ සම්පූර්ණ නිහඬබවට හෝ පටිගත කළ zebra finch කුරුලු ගීතවලට හෝ පටිගත කළ වාහන තදබදයේ ඝෝෂාවන්ට නිරාවරණය කර තැබීමයි. ඔවුන් මෙය ම අලුත උපන් පැටවුන්ටත් පැය 4 බැගින් දින 13ක කාලයක් ඇතුළත සිදු කර තිබුණා. කෙසේ නමුත් ඒ එක් අවස්ථාවක දී වත් කුරුලු මාපියන්ට ශබ්ද ඇසන්නට සලස්වා තිබුණේ නැහැ.

මෙහි දී පර්යේෂණ කණ්ඩායම නිරීක්ෂණය කර තිබුණේ වාහන තදබදයේ ඝෝෂාවට නිරාවරණය වන බිත්තරවලින් පැටවුන් බිහි වීමේ සම්භාවිතාව 20% දක්වා පහත වැටෙන බවයි. එසේ ම එම සම්භාවිතාව තුළ පවා පිටතට පැමිණෙන පැටවුන් නියමිත බරට වඩා 15%කින් අඩු බවත්, නියමිත ප්‍රමාණයට වඩා 10%කින් කුඩා බවත් නිරීක්ෂණය වී තිබුණා. එම පැටවුන්ගෙන් ලබා ගත් රතු රුධිරාණු සහ ටෙලෝමියර හෙවත් මානසික පීඩනය සහ වියපත් වීම සමඟ කෙමෙන් ක්ෂය වන DNA කොටස් ද මෙහි දී විශ්ලේෂණය කෙරුණා. එහි දී ද පෙනී ගියේ ඒවා තිබිය යුතු නිරෝගිමත් ප්‍රමාණයට වඩා ක්ෂය වූ ස්වරූපයක් පෙන්නුම් කරන බවයි.

“අපි යම්කිසි ආකාරයේ බලපෑමක් නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියා තමයි. ඒත් මෙතරම් ප්‍රබල බලපෑමක් කිසිවිටෙක බලාපොරොත්තු වුණේ නැහැ.” Mariette සඳහන් කරනවා. ඔවුන් මේ නිරීක්ෂණවලින් මවිතයට පත් ව සිටින්නේ තදබදයේ ඝෝෂාවට බිත්තර සහ පැටවුන් නිරාවරණය කරනු ලැබුණේ දිනකට පැය 4ක කාලයක් පමණක් වන බැවිනුයි. එනිසා නිතිපතා වාහන තදබදයේ ඝෝෂාව නැඟෙන නගරබද ප්‍රදේශවල කුරුලු පවුල්වල තත්ත්වය මීටත් අන්ත වීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙන බව කනගාටුවෙන් වුවත් සිහිපත් කළ යුතුයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications