පසුගිය ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකය මෙතෙක් කලකට නිරීක්ෂණය කළ එකඳු පෘථිවි ආසන්න වස්තුවකටත් වඩා වැඩි වේගයකින් භ්‍රමණය වෙමින් පැවති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
2024 BX1 ලෙස නම් දැරූ, මීටරයකට අඩු විශ්කම්භයකින් යුුතු වූ ග්‍රහක කැබැල්ල Fireball උල්කාපාතයක් ලෙසින් වායුගෝලයට ඇතුළු වී බර්ලින් නුවරට ඉහළින් පුපුරා ගියේ ඉකුත් ජනවාරි 21 වැනි දා අලුයම් යාමයේ දී යි. සාමාන්‍යයෙන් මෙතරම් කුඩා ග්‍රහක පෘථිවියත් සමඟ ඝට්ටන කක්ෂයක පිහිටිය ද බොහෝ විට හඳුනා ගැනෙන්නේ එය වායුගෝලයට ඇතුළු වූ පසුවයි. කෙසේ නමුත් එවර වායුගෝලයට ඇතුළු වීමට පැය 3කට පමණ පෙර එය ස්ථානගත කර ගැනීමට විද්‍යාඥයන් සමත් වු තිබුණා.
පසුගිය අප්‍රේල් 05 වැනි දා arXivහි පළ වුණු පූර්ව මුද්‍රිත පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දෙන පරිදි 2024 BX1
සතු එක ම අසාමාන්‍යතාව එය පමණක් නො වෙයි. පර්යේෂකයන් සඳහන් කරන්නේ පැයට කිලෝමීටර 50,000ක වේගයෙන් ඇදී එමින් පැවති ග්‍රහකය සෑම තත්පර 2.6කට වරක් තමා වටා භ්‍රමණය වෙමින් වටයක් සම්පූර්ණ කර තිබෙනවා. එය මෙතෙක් වාර්තා වී ඇති ග්‍රහකයක් සතු වැඩි ම භ්‍රමණ වේගය බව ඔවුන් පෙන්වා දෙනවා.
ග්‍රහක විවිධ වූ හේතු නිසා තමා වටා කරකැවෙනවා. යම් ඝට්ටනයකින් අභ්‍යවකාශයට විසි වී යාම එවැනි එක් හේතුවක්. සුවිශාල ග්‍රහකයන්ට වඩා අභ්‍යන්තරික ව සංගත වන බැවින් කුඩා ග්‍රහක සාපේක්ෂ ව වැඩි වේගයකින් භ්‍රමණය වනවා. “ඒවාට අභ්‍යන්තරික සවියක් තිබෙනවා. එනිසා ඒවා වැඩි වේගයකින් භ්‍රමණය වනවා.” පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වූ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සමඟ එක් ව කටයුතු කරන University of Central Florida හි භෞතිකවිද්‍යාඥ Maxime Devogèle සඳහන් කරනවා.
මින් පෙර වැඩිම වේගයකින් තමා වටා භ්‍රමණය වන වාර්තාවට හිමිකම් කීවේ මීටර 4ත් 8ත් අතර විශ්කම්භයකින් යුතු 2020 HS7 ග්‍රහකයයි. එය සතු වූ භ්‍රමණ කාල පරාසය තත්පර 2.99ක්.
Live Science සහ New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්