මුව දිගු කළ හැකි මාංශභක්ෂක පණුවෙකුගේ ෆොසිලයක් සොයාගැනේ

එංගලන්තයේ හියෆෝඩ්ශයරයෙන් හමු වූ පුරාතන පණුවෙකුගේ ෆොසිලය අධ්‍යයනය කිරීමෙන් පසු ඌ මාංශභක්ෂක පණුවෙකු බවත්, මුඛය ඉදිරියට පනිමින් ගොදුර ගැහැ ගැනීමේ හැකියාවෙන් යුතු වූ බවත් විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.

Radnorscolex latus ලෙස විද්‍යාත්මක ව නම් කර ඇති මේ පණුවාගේ ෆොසිලය සොයාගෙන තිබෙන්නේ එංගලන්තය හා වේල්සය වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇති Leintwardine ගම්මානයෙන්. අදින් වසර මිලියන 425කට පමණ පෙර මේ ප්‍රදේශය මුහුදු ජලයෙන් යට වී තිබූ යුගයේ දී මුහුදු පත්ලේ මේ පණු විශේෂය වාසය කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. විශ්ලේෂණයන්ගෙන් පෙනී යන පරිදි දිගු කළ හැකි මුවක් මොවුන් සතු වී තිබෙන්නේ මුහුදු පත්ලේ වැලි තට්ටුව යට සැඟවී සිටින ගොදුරු ඩැහැගැනීම සඳහා ලැබුණු පරිණාමීය ත්‍යාගයක් ලෙසයි.

ලන්ඩනයේ ජාතික ඉතිහාස කෞතුකාගාරයේ ආත්‍රපෝඩා ෆොසිල විශේෂඥ ආචාර්ය රිචී හොවාර්ඩ් (Richie Howard) පවසන්නේ Radnorscolex පණුවන් Dune සිනමාපටයේ එන යෝධ වැලි පණුවන් සිහිගන්වන බවයි. කෙසේ නමුත් සැබෑ ලෝකයේ දී Radnorscolex පණුවකු වැඩී ඇත්තේ සෙන්ටිමීටර 8ක පමණ සාමාන්‍ය විශාලත්වයකට පමණයි.

“අපි හිතන්නෙ නෑ ඔවුන් ආහාර ගැනීමේ දී ‌තෝරා බේරාගෙන කෑ බවක්. බොහෝ විට සිදුවන්නට ඇත්තේ වැලි ගොඩ යටට උගුර එබීමෙන් පසු හසුවන ඔ්නෑ ම දෙයක් ඩැහැගැනීමයි. ඒ අනුව බලද්දී Dune චිත්‍රපටයේ එන වැලිපණුවන් සිහිගන්වනවා.”

Radnorscolex පණුවන්ගේ ෆොසිල කොටස් මින් ශතවර්ෂයකට පමණ පෙර සිට සොයාගෙන තිබුණත් ඒ පිළිබඳ ගැඹුරින් විශ්ලේෂණය කර සවිස්තරාත්මක ‌‌තොරතුරු රැස් කර ගැනීමට තරම් එකල පාෂාණධාතුවේදීන් හට තාක්ෂණික පහසුකම් තිබුණේ නැහැ.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Related posts

SpaceX රොකට් කොටසක් අද හඳට කඩා වැටෙයි

ඩයිනෝසරයන්ගේ වඳ ව ගිය ග්‍රහක ගැටුමෙන් මිනිසුන්ට දරාගත හැකි උපරිම උෂ්ණත්වය මෙන් 17 ගුණයක තාපයක් නිකුත් වී ඇති බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙයි

පැසිෆික් කලාපයේ යමහල් විදාරණ හේතුවෙන් පෘථිවිය සියවස් ගණනාවක් පුරා සිසිල් වී ඇති බව හෙළි වෙයි