Home Science News T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා

T.rex ෆොසිලයක් සොයාගත් සොහොයුරෙන් තිදෙනා

by Sathya

ප්‍රාග් ඓතිහාසික විලෝපිකයන් අතරින් අතිශය භයංකර සත්ත්වයෙකු ලෙස Tyrannosaurus Rex හඳුනාගත හැකි වුවත් උන්ගේ කුඩා අවධිය ගැන මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණවත් වන්නේ නැහැ. නමුත් මේ ගැටලුව බාල වියේ පසු වන දරුවන් තිදෙනෙක් කළ සොයා ගැනීමක් නිසා නුදුරු අනාගතයේ දී විසඳාගත හැකි වනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.

2022 වසරේ උතුරු ඩැකෝටාවේ Hell Creek ෆොසිල අවසාධිත ප්‍රදේශයේ දී මේ සොයාගැනීම සිදු කරනු ලැබ තිබුණේ එවක පිළිවෙළින් සත් හැවරිදි සහ දස හැවරිදි වියේ පසු වූ Liam Fisher, Jessin Fisher සහ ඔවුන්ගේ ඤාති සොහොයුරු වූ නව හැවරිදි වියේ පසු වූ Kaiden Madsen විසින්.

2022 ජූලි 22 දා දරුවන් තිදෙනා Hell Creek ප්‍රදේශය මතින් ඇවිද යමින් සිටියා. පොළොවේ සිට ඉස්මතු වී තිබූ සුවිශාල පාද අස්ථියක් ඔවුන්ගේ ඇස ගැටුණේ ඒ අතරතුරයි. Liam සඳහන් කරන්නේ තමා එය ඩයිනෝසෝර ඇටකටුවක් බව කීවත් සිය සොහොයුරන් දෙදෙනා එය විශ්වාස කිරීමට මුලින් මැලි වූ බවයි. ඔවුන් තිදෙනා සිය සොයාගැනීමේ වැදගත්කම තහවුරු කරගැනීම සඳහා ලබාගත් ඡායාරූප කිහිපයක් පවුලේ හිතවතෙකු වූ පාෂාණධාතු විශේෂඥ Tyler Lyson වෙත යවා විමසා බැලීමට කටයුතු කළා.

ඡායාරූප විශ්ලේෂණය කර බැලූ ආචාර්ය Lysonගේ මුල් අදහස වී තිබුණේ සොයුරන් තිදෙනාට හමු වී ඇත්තේ බහුල ලෙස හමු වන Hadrosauridae කුලයට අයත් duck-billed හෙවත් තාරා හිසක් ඇති ඩයිනෝසෝරයෙකුගේ අස්ථියක් බවයි. කෙසේ නමුත් වැඩිදුර විශ්ලේෂණයවල දී ඔහුට පෙනී ගියේ එය අතිශය විරල සොයාගැනීමක් බවයි.

“ටයිලර් එක්ක එකතු වෙලා පස් පිරිමදින්නට ගත්තේ අපට තවත් මොනවා ම හරි හොයාගන්න පුළුවන් වෙයි ද කියලා බලන්නයි. ටයිලර්ට එයාගෙ ඉස්කුරුප්පු නියන යමක වදින හඬ ඇහෙනවාත් එක්ක ම වගේ එයා එතනින් අයින් වුණා. එයාට එතනින් දතක් හමුබවෙලා තිබුණා. අපි ඒක දිහා විමසිල්ලෙන් බැලුවා. අපි දැනගත්තා ඒ T. Rex” කෙනෙක් බව.” Jessin පවසනවා.

ඉන් අනතුරු ව දින 11ක කාලයක් පුරා මනා සැලකිල්ලෙන් සිදු කෙරුණු කැණීමකින් මුළුමනින් ම නිරාවරණය කරගැනුණු නිදර්ශකය ප්‍රවාහනය කිරීම සඳහා ට්‍රක් රථය වෙත ගෙන ගියේ බ්ලැක් හෝව්ක් හෙලිකොප්ටරයකින්.

නිදර්ශකයේ ඇති ජංඝාස්ථියේ දිග අනුව විශ්වාසකෙරෙන්නේ මේ T. Rex ඩයිනෝසෝරයා මිය යන්නට ඇත්තේ වයස අවුරුදු 13ත් 15ත් අතර වියේ පසු වන විට දී බවයි. ළමා වයසක පසු වූවත් ඌ මීටර 3ක උසකින් හා කිලෝග්‍රෑම් 1,632ක බරකින් යුතු වන්නට ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

සොහොයුරන් තිදෙනාගේ සොයාගැනීම, ඉන් පසුවට සිදු වූ කැණීම් ක්‍රියාවලිය සහ වසර දෙකක් තිස්සේ නිදර්ශකය යොදාගෙන සිදු වූ පර්යේෂණ ක්‍රියාවලිය පාදක කොටගත් වාර්තාමය චිත්‍රපටයක් ලබන 21 වැනි දා සිට ලොව පුරා නගර 100ක තෝරාගත් සිනමාහල්වල ප්‍රදර්ශනය වීමට නියමිත ව තිබෙනවා. T.REX ලෙස නම් කර ඇති එහි පසුබිම් කථනය සඳහා හඬ දායකත්වය ලබා දී ඇත්තේ ලෝ ප්‍රකට ‘Jurassic Park’ චිත්‍රපටයේ ආචාර්ය. ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කළ Sam Neill.

Daily Mail ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications