Home Science News හොඳ ම විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි නවකතාවට පිරිනැමෙන නෙබියුලා සම්මානය වජ්‍ර චන්ද්‍රසේකරට

හොඳ ම විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි නවකතාවට පිරිනැමෙන නෙබියුලා සම්මානය වජ්‍ර චන්ද්‍රසේකරට

by Sathya

2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි නවකතාවට පිදෙන නෙබියුලා සම්මානය (Nebula Award) දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක වජ්‍ර චන්ද්‍රසේකර සමත් වුණා. ඒ ඉකුත් 06 වැනි දා ඇමරිකා එක්සත් ජනපදයේ පැසඩීනාහි පවත්වන ලද 59 වැනි නෙබියුලා සම්මාන ප්‍රදානෝත්සවයේ දීයි. මෙලෙස සම්මානයට පාත්‍ර වූණේ ඔහු විසින් රචිත ‘The Saint of Bright Doors’ නවකතාවයි. එය ඔහු විසින් රචිත ප්‍රථම නවකතාව වීම ද විශේෂත්වයක්.

අධිස්වභාවික දීප්තිමත් ද්වාර සහිත මනඃකල්පිත නගරයක වෙසෙන එක්තරා ආධ්‍යාත්මික නායකයෙකු මරා දැමීම පිණිස කුඩා කල පටන් පුහුණු කෙරෙන චරිතයක් වටා ගෙතෙන ‘The Saint of Bright Doors’ ෆැන්ටසි ශානරයට අයත් නවකතාවක්. 2023 වසරේ දී ප්‍රකාශයට පත් එය, ලෝකස් (Locus), හියුගෝ (Hugo) සහ ලැමී (Lammy) ස‌ම්මාන උළෙලවල අවසන් වටය සඳහා ද තේරී පත් ව ඇති අතර IAFA William L. Crawford ෆැන්ටසි සම්මානය ද දිනාගෙන තිබෙනවා.

ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ සිට පටිගත කෙරුණු වීඩියෝ පණිවුඩයක් මඟින් සභාව ඇමතූ වජ්‍ර අවධාරණය කළේ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ මිය යන පලස්තීන වැසියන් වෙනුවෙන් මිනිසත් බවේ දෑත දිගු කළ යුතු බවයි. හැකි නම් පලස්තීන වැසියන් හට සහන සේවා සපයන සංවිධාන වෙත මාර්ගගත ක්‍රමයට හෝ ආධාර ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා.

‘Rakesfall’ ලෙස නම් කර ඇති වජ්‍ර චන්ද්‍රසේකරගේ දෙවැනි නවකතාව මේ මස මුද්‍රණද්වාරයෙන් නිකුත් වීමට නියමිතයි.

ඇමරිකාව තුළ ප්‍රකාශයට පත් වන විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසිමය සාහිත්‍ය නිර්මාණ අගයනු පිණිස පවත්වනු ලබන සම්මාන ප්‍රදානයන් අතර නෙබියුලා සම්මානයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. Science Fiction and Fantasy Writers Association (SFWA) හෙවත් විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ලේඛකයන්ගේ සංගමය විසින් වාර්ෂික ව පවත්වනු ලබන එය මුල් වරට ප්‍රදානය කරනු ලැබුණේ 1966 වසරේ දීයි. වසර තුළ ප්‍රකාශයට පත් විද්‍යා ප්‍රබන්ධමය හෝ ෆැන්ටසිමය තේමා රැගත් හොඳ ම කෙටිකතාව (Best Shortstory), හොඳ ම කෙටි නවකතාව (Best Novella), හොඳ ම ප්‍රබන්ධිකාව (Best Novelette) හා හොඳ ම නවකතාව (Best Novel) සඳහා සම්මාන ප්‍රදානය එහි දී සිදු වනවා.

මෙවර පැවැති 59 වැනි නෙබියුලා සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ අනෙකුත් නවකතා පහත පරිදියි.

  • S. L. Huang විසින් රචිත The Water Outlaws (ප්‍රකාශනය – Tordotcom සහ Solaris UK)
  • Ann Leckie විසින් රචිත Translation State (ප්‍රකාශනය – Orbit US and Orbit UK)
  • Annalee Newitz විසින් රචිත The Terraformers (ප්‍රකාශනය – Tor and Orbit UK)
  • Wole Talabi විසින් රචිත Shigidi and the Brass Head of Obalufon (ප්‍රකාශනය – DAW සහ Gollancz)
  • Martha Wells විසින් රචිත Witch King (ප්‍රකාශනය – Tordotcom)

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications