පිරානා මත්ස්‍යයාට පිටත පෙනුමෙන් සමාන මෙතෙක් නිවැරැදි ලෙස හඳුනා නො ගත්, නව මත්ස්‍ය විශේෂයක් ඇමසන් ගංගාවෙන් සොයාගෙන තිබෙනවා. වසර 200කට ආසන්න කාලයක් ඔවුන් තවත් සමාන මත්ස්‍ය විශේෂයක් සමඟ පටලවාගෙන තිබූ බව විද්‍යාඥයන් සඳහන් කරනවා. හඳුනාගත් නව විශේෂය ජේ. ආර්. ආර්ත ටෝල්කින් විසින් ලියන ලද “The Lord of the Rings” නවකතා මාලාවේ එන අඳුරට අධිපති Sauron සියවනු පිණිස Myloplus sauron ලෙස නම් කර තිබෙනවා.
කෙසේ නමුත් මේ මත්ස්‍යයා Sauron තරම් දුෂ්ටයෙකු නො වන බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
Myloplus sauron මත්ස්‍යයා මිරිදිය Piranaට නෑ කමක් දක්වන Pacu මත්ස්‍ය විශේෂයට අයත් වනවා. පර්යේෂකයන් හට M. sauron මුණගැසුණේ 1841 දී සොයාගත් සර්ව සම පෙනුමකින් යුතු M. schomburgkii මත්ස්‍ය විශේෂය අධ්‍යයනය කිරීමේ දීයි.
පසුගිය ජූනි 10 වැනි දා Neotropical Ichthyology ජර්නලයේ පළ වූ අධ්‍යයන වාර්තාවට අනුව M. sauronගේ බඳ ප්‍රදේශය වටා දුවන කළු පැහැති පටියක් වැනි වයිරම Sauronගේ ඇසට සමාන පෙනුමකින් යුතු වීම එම නම විද්‍යාත්මක ව එකතු කිරීමට අනුප්‍රාණය සපයා තිබෙනවා.
“විශේෂයෙන් ම සිරුරේ තැන තැන විසිරී තිබෙන තැඹිලි පැහැති පැල්ලම් ද සමඟ උන් සතු චර්ම රටාව Sauronගේ ඇසට අතිශය සමානයි.” අධ්‍යයනයේ සම කතුවරයෙකු වන ලන්ඩනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ මත්ස්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකාර Rupert Collins සඳහන් කරනවා. “මගේ පර්යේෂණ සගයන් මේ නම ගෙන ආ සැටියේ ම අප වටහාගත්තා ගැලපෙන ම නම ඒක බව.”
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්